ශෂීට ඇප ඉල්ලන්න ගෙනා මෝසම හෙට සලකා බැලේ

ශෂීට ඇප ඉල්ලන්න ගෙනා මෝසම හෙට සලකා බැලේ

February 26, 2015   03:52 pm



රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇප ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන්  හෙට (27)  සලකා බලන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබේ.

ශෂී වීරවංශ මහත්මියගේ නීතිඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මේ බව දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ශෂි වීරවංශ මහත්මිය අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ඇයට ඇප ලබා දෙන ලෙස අදාළ මෝසමෙන් ඉල්ලා තිබුණි.

ඒ පිළිබඳ හෙට දිනයේ සලකා බලන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, මේ වනවිට බන්ධනාගාර රෝහලේ රඳවා සිටින ශෂී විරවංශ මහත්මිය හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර,  අවිධිමත් ආකාරයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගත් බවට එල්ල වු චෝදනා මත පසුගිය ඉරිදා අත්අඩංගුවට ගත් ශෂී වීරවංශ මහත්මිය ලබන 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය ඊයේ නියෝග කරන ලදී.




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.