ක්‍රිස් ගේල් ලෝක කුසලාන ක්‍රිකට් පොත අලුතින් ලියයි - වාර්තා බිඳ වැටෙයි

ක්‍රිස් ගේල් ලෝක කුසලාන ක්‍රිකට් පොත අලුතින් ලියයි - වාර්තා බිඳ වැටෙයි

February 24, 2015   12:25 pm



ක්‍රිකට් වංශ කතාව අලුතින් ලියමින් ‍ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ලබාගත් පිතිකරුවා බවට පත්වීමේ භාග්‍යය මීට ටික වේලාවකට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ට හිමිවිය.

ක්‍රිස් ගේල් මේවන විට පැවැත්වෙන කොදෙව් සිම්බාබ්වේ තරඟයේදී පන්දු 138දී ලකුණු 201ක් ලබා නොදැවි කඩුල්ලේ රැඳී සිටියි.

ඔහු එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට 6 පහර 16ක් හා 4 පහර 9ක් එල්ල කර තිබුණි.

එසේම එක්දින තරඟවලදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටුවන ලද හොඳම සබඳතාවයද මෙම තරඟයේදී පිහිටුවීමට ගේල් හා මාලන් සැමුවෙල් සමත්ව සිටින අතර දැනටමත් ඔවුන්ගේ එම සබඳතාවය ලකුණු 300 ඉක්මවා ගොස් ඇත.

මීට පෙර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැති හොඳම සබඳතාවය වූයේ ඉන්දීය පිතිකරුවන් වන රාහුල් ඩ්‍රාවිඩ් හා සව්රව් ගංගුලි ශ්‍රී ලංකාවට එරෙහිව 1999 පැවැති තරඟයකදී ලකුණු 318ක් ලබා ගනිමින් පිහිටුවා තිබූ වාර්තාවය.



තරඟයේ කොදෙව් ඉනිම අවසන් වන විට පැවැති තත්ත්වය වූයේ, ක්‍රිස් ගේල් පන්දු 147දී 6 පහර 16ක්, 4 පහර 10ක් සමගින් ලකුණු 215ක් ලබා අවසන් පන්දුවේදී දැවීයාමට ලක්ව ඇති බවය.

එසේම ඔහු සමග වාර්තා පොත් අලුතින් ලිවීමට දායක වූ මාලන් සැමුවෙල් පන්දු 156දී නොදැවී ලකුණු 133ක් ලබා ගැනීමට සමත්ව ඇති අයුරුය.

ඒ අනූව කොදෙව්වන් මෙම තරඟයේදී පන්දුවාර 50 තුළ කඩුලු 2ට ලකුණු 372ක් ලබාගත් අතර එය මෙම තරඟාවලියේ එක කණ්ඩායම මෙතෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවටද පත්ව තිබේ.

ලකුණු 0දී පළමු කඩුල්ල දැවී යාමෙන් පසු ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැඟු සබඳතාවය ද මේ අනූව ලකුණු 372ක් වන අතර එය එක්දින පිටියේ ඕනෑම කඩුල්ලකට තැබූ හොඳම සබඳතාවය ද බවට පත්වෙයි.

තරඟය ජය ගැනීමට ඒ අනූව සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 373ක් ලබා ගත යුතුය.

එක්දින තරඟයකදී ලකුණු 264ක් ලබා ගනිමින් පළමු තැන ඉන්දියාවේ රෝහිත් ශර්මාටත්, දෙවැනි තැන එම රටේම විරේන්ද්‍ර ෂෙවාග්ටත් හිමිව ඇති අතර තෙවැනි තැන අද ලකුණු 215ක් ලබාගත් ‍ගේල්ට හිමිවිය.

මෙම තරඟය නවසීලන්තයේ කැන්බරා හී පැවැත්වෙයි.