වාර්තාව කල් දැමීම ගැන සෙසු රටවල් ප්‍රසාදය පළකරයි

වාර්තාව කල් දැමීම ගැන සෙසු රටවල් ප්‍රසාදය පළකරයි

February 21, 2015   06:09 pm



ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු වාර්තාව ප්‍රමාද කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් බහුතරයක් සහය පළකර තිබේ.


ශ්‍රී ලංකාවේ නව රජයට ඒ වෙනුවෙන් කාලය සහ අවකාශ ලබා දිය යුතු බව  එම රටවල් ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කර ඇත.


යුද්ධයේ අවසන් අදියරේ මෙරට සිදු වු බව කියන යුධ අපරාධ සහ මානව හිමිකම් කඩවිම් සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය සිදු කළ ජාත්‍යන්තර පරික්ෂණ වාර්තාව මාර්තු මාසයේදී ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.



 එහෙත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අමෙරිකාවේ සිදුකළ සංචාරයේ ප්‍රතිපලයක් ලෙස එම වාර්තාව ඉදිරිපත් කිරිම ලබන සැප්තැම්බර් දක්වා කල් දැමුණි

 

ඒ අනුව මෙම වාර්තාව කල් දැමිම පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදය , ජපානය ,චීනය ,බ්‍රිතාන්‍ය ඇතුලු ජගත් මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් රැසක් සහය පළකර ඇති බව ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහන් කළේය.



 මේ පිළිබදව අදහස් දක්වමින් ජපානය පවසා ඇත්තේ නව රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහය පළකරන අතර ශ්‍රී ලංකාවට කාලය සහ අවකාශ ලබා දය යුතු බවයි.



එමෙන්ම මානව හිමිකම් යහපාලනය හා වගවීම සම්බන්ධයෙන් නව යාන්ත්‍රණයක් පිළිබද ශ්‍රී ලංකා රජය ගන්නා ලද මුලික ක්‍රියාමාර්ග හා පොරොන්දු පිළිබඳව තම රජය ප්‍රසංසාව පළ කරන බව  චීනය පවසා ඇත.