ලෝක කුසලාන තරඟාවලියේ වේගවත්ම අර්ධ ශතකය මැකලම්ට

ලෝක කුසලාන තරඟාවලියේ වේගවත්ම අර්ධ ශතකය මැකලම්ට

February 20, 2015   01:31 pm



අයි.සී.සී.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා  කරමින් තමා විසින්ම තැබු වාර්තාව අලුත් කිරීමට නවසීලන්ත කණ්ඩායමේ බ්‍රෙන්ඩන් මැකලම් අද සමත් විය.

ඒ නවසීලන්තය සහ එංගලන්තය අතර වෙලින්ටන්හිදී පැවැති තරගයේ දී පන්දු 18ක් තුළ අර්ධ ශතකය වාර්තා කරමිනි.

මීට පෙර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී කැනඩා කණ්ඩායමට එරෙහිව 2007 වසරේ පැවති තරගයකදී බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 20ක් තුළ වේගවත්ම  අර්ධ ශතකය වාර්තා කර තිබිණ.

අද පැවති ලෝක කුසලාන තරගාවලියේ නව වන තරගයේ දී එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණි.

තරගයේ කාසිය වාසීය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 123ක් පමණි.

කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 50 ඉක්මවා යාමට නොහැකි වු අතර ජෝ රූට් ලකුණු 46ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 02ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදී බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 25කදි හයේ පහර 7ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 77ක් ලබාගැනීමට සමත් වුණි.

 නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වු තරග තුනම මේ වන විට ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.