කොල්ලය වැරදිලා - කොල්ලකරුවන් පැන ගිහිල්ලා

කොල්ලය වැරදිලා - කොල්ලකරුවන් පැන ගිහිල්ලා

February 19, 2015   07:02 am


සුඛෝපභෝගී මෝටර් රථයකින් ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණ පිස්තෝලයක් පෙන්වා බියගන්වා කර සිදු කිරීමට ගිය කොල්ලයක් ගම්වාසීන් විසින් ව්‍යර්ථ කර තිබේ.

ඊයේ (18 )රාත්‍රී 9.00 ට පමණ දංකොටුව - පන්නල මාර්ගයේ සුමංගල මාවතේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව දංකොටුව පොලීසිය පවසයි.

මෙම කොල්ලය සදහා තිදෙනෙකු පැමිණ ඇති අතර  එක් අයෙකු අත පිස්තෝලයක් තිබී ඇති බවත්,මුලින්ම ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන ඇති කොල්ලකරුවන් ඔවුන් සමග පොර බදා ඇති බවත් සඳහන්ය.

එම අවස්ථාවේදී ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සහෝදරයෙකුද නිවසේ සිට ඇති අතර ඔහු නිවසින් පිටතට දිව ගොස් ආධාර ඉල්ලා කෑ ගසා ඇති බවත්, ඒ සමගම එක් කොල්ලකරුවෙකු ඔවුන් පැමිණි බව කියන සුඛෝපභෝගී මෝටර් රථයේ නැගී පලා ගොස් ඇති බවත් අප වාර්තාකරු කියයි.

අනතුරුව ඉතිරි වූ කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ව්‍යාපාරික ලෙනාඩ් ජයවර්ධන යන අයට පිහියකින් පහර දී ඇති අතර ඔහු සුළු තුවාල ලබා ඇත.


සිද්ධිය වූ ස්ථානයට එක් වූ අයට පිස්තෝලය පෙන්වා බිය කර ඇති කොල්ලකරුවන් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක නැගී පලා යාමට උත්සහ කර ඇති නමුත් ත්‍රී රෝද රථය නොනවත්වා ධාවනය කර තිබේ.

එම අවස්ථාවේදී කොල්ලකරුවෙකු විසින් ත්‍රී රෝද රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් ත්‍රී රෝද රථයකට පමණක් හානි සිදු වී ඇති බව පොලීසිය කියයි.

කෙසේ වෙතත්  ගිනි අවි පෙන්වා එම ස්ථානයට එක්වූ ගම්වාසීන් බිය කර ඇති අනෙක් කොල්ලකරුවන් දෙදෙනාද ඉක්බිතිව පලාගොස් ඇති බව පොලීසිය කියයි.


පලාගිය කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර  ඇති බව දංකොටුව පොලීසිය කියයි.

දංකොටුව පොලිස් ස්ථානාධිපති විජිත මාසක්කාර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.