ජනපතිගේ මංගල සංචාරය අරඹයි

ජනපතිගේ මංගල සංචාරය අරඹයි

February 15, 2015   08:24 am




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රථම විදෙස් සංචාරය ආරම්භ කරමින් අද(15)  ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.


ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදුවන්නේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය.  


ඒ අනුව ලබන 18 වැනිදා දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතය.

 
මෙම සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.


මීට අමතරව ඉන්දීය විදේශ  අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ඉන්දිය ජාතික කොන්ග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය හමුවි  සාකච්ඡා කිරිමට ද නියමිතව තිබේ.


පෙබරවාරි 17 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධගයා විහාරය වැඳපුදා ගැනිමට නියමිත අතර 18 වනදා දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිලේ ආගමික වතාවත් වලටද සහභාගි විමට නියමිතය.


ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ දී දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට සැලසුම් කර තිබේ.


ඒ අනුව නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීම, කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ දැනට පවතින එකඟතාව මත ද්වීපාර්ශවික ක්‍රියාකාරී සැලැස්මක්  ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගිවිසුම්වලට අත්සන් තැබෙනු ඇත.


මේ අතර ඉන්දිය  විදේශ කටයුතු අමාතංශයේ ප්‍රකාශක සෙයිද් අක්බර්රුදීන් පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නවදිල්ලි නගරයේදී උණුසුම් ලෙස පිළිගැනිමට සියලු කටයුතු සුදානම් බවයි.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ද ලබන මාර්තු මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.