චෝදනාවලට මහින්ද පිළිතුරු බඳියි

චෝදනාවලට මහින්ද පිළිතුරු බඳියි

February 9, 2015   01:59 pm


 

වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් විසින් තමා සම්බන්ධයෙන් සාවද් හා නොමග යවන සුළු ප්රකාශ දිගින් දිගටම සිදුකරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

 

අදාළ චෝදනා නිසා ජනතාව නොමග යන බවත්, මේ නිසා තමන් ඊට ප්‍රතිචාර දැක්විය යුතු යැයි සිතූ බවත්, ඒ  මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි.

 

එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

 

වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් විසින් මා සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශ දිගින් දිගටම කරමින් සිටී. ජනතාව නොමග යෑම වළක්වනු පිණිස මා ඒ චෝදනා වලට ප්‍රතිචාර දැක්විය යුතු යැයි සිතමි.

මාගේ රජය විසින් 2015 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට කෝටි 10,000 ක මුදලක් වෙන් කර තිබුණු බවත්, නව රජය එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි සියල්ල ජනතාවට සහන ලබා දීම සඳහා නිදහස් කළ බවත්, එක්තරා රූපවාහිනී වැඩසටහනකදී කියැවුණි. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා කෝටි 10,000 ක මුදලක් කිසිදාක වෙන් නොකළ බව මම වගකීමෙන් කියමි.

 
2015 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුළු මුදල කෝටි 959කි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබඳ කමිටුව ඇතුළු රජයේ ආයතන 25 ක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක විය. හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වියදම් වැටෙන්නේ ද ජනාධිපති ලේකම් කාර්යාලය යටතටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලනමය අංශය ඒ සියලු ආයතන වලට සේවා සපයන අතර ආදාළ මුදල් වලින් වැඩි කොටස වැය වන්නේ ඒ සඳහාය. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වෙන් කරන මුදල් සියල්ල වැය වන්නේ ජනාධිපතිවරයාගේ නඩත්තුව සඳහා නොවේ.

 
ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් 2015 සඳහා වෙන් කර තිබුණු මුදල රු. කෝටි 375 කි. මෙය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට වැටෙන වියදම් වලින් එක් අංශයක් පමණක් බව සැලකිය යුතුය. මෙකී මුදලින් කෝටි 100ක්ම වෙන් කොට තිබුණේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත්වීමෙන් ජනාතාවගේ සුබසෙත සදහා ඉදි කෙරෙන විවිධ සුලු ව්‍යාපෘති සඳහාය. මෙම කෝටි 100 ඉවත් කල විට ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම කෝටි 275 දක්වා අඩු වේ. වත්මන් ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල ලෙස සඳහන් වන්නේ එකී මුදල විය යුතුය.

මෑතකදී ආණ්ඩුවේ ඇතැම් අය කී තවත් කතාවක් වුයේ මම මාගේ භාවිතය සඳහා ජනාතාවගේ මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක් වැය කොට විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට තිබුණු බවත්, එය භාර ගැනීම නව ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ගුවන් යානා අමතර කොටස් ගැනීමට සැලසුම් කර තිබෙන බවත්ය.

 
මාගේ භාවිතය සඳහා කිසිදු විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට නොතිබූ බව මම ප්‍රකාශ කර සිටිමි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර් බස් සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට එකී සමාගම විසින් අවශ්‍ය වූ විට ඔවුන්ගේ ගුවන් යානා වල සාමාන්‍ය ආසන කිහිපයක් ඉවත් කොට විශේෂ මගීන් සඳහා විවිධ පහසුකම් සහිත විශේෂ කුටියක් ලෙස සැකසිය හැකි පරිවර්තන කට්ටලයක් ගැනුම්කරුට දෙන තිළිණයක් වශයෙන් ඇතුළත් කොට තිබුණි. ඩොලර් මිලියන 15ක් ලෙස එහි දී සඳහන් වූයේ එම කට්ටලය සඳහා නිෂ්පාදකවරයා සඳහන් කරන සංකේතාත්මක වටිනාකම පමණි. එය නොමිලේ ලබා දෙන තිළිණයකි.

 
රටේ විවධ ස්ථානවල ජනාධිපතිවරයාට තිබෙන නිල නිවාස ගැන සඳහන් කරමින් ඒ සියල්ල මාගේ සුඛවිහරණය සඳහා මා විසින් ඉදි කරන ලද ඒවා හැටියට හුවා දැක්වීමටද උත්සාහයක් ඇති බව පෙනේ. අරලියගහ මන්දිරය හා කොටුවේ ජනාධිපති මන්දිරය එමෙන්ම නුවරඑළියේත්, මහනුවරත් පිහිටි ජනාධිපති මන්දිරද යටත් විජිත සමයේ සිටම මේ රටේ ආණ්ඩු ප්‍රධානීන් විසින් භාවිතා කරන ලදී. අනුරාධපුර, ඇඹිලිපිටිය, මහියංගනය වැනි ස්ථාන වල පිටිහි නිල නිවාස ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් ඉදිකරන ලද ඒවාය. මේ එක නිල නිවසක් වත් මාගේ පාලන කාලය තුල ඉදි කළ ඒවා නොවන බව කිව යුතුය.

 

අරලියගහ මන්දිරය, කොටුවේ ජනාධිපති මන්දිරය ඇතුළු වෙනත් නිල නිවාස නුදුරු අනාගතයේදීම මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බවට පුවතක් මම දුටුවෙමි. මා අරලියගහ මන්දිරයේ සිටි කාලයේදීද ඉතා ඈත පිටිසර පළාත් වලින් පාසැල් ළමුන් හා වැඩිහිටියන්ද අරලියගහ මන්දිය නැරඹීමට දහස් ගණනින් පැමිණි බව මතක් කර දිය යුතුය. එසේ පැමිණි අය සමග කතා බස් කිරීමට ලැබීමද මට මහත් සතුටක් වූවාසේම රටේ විවිධ පළාත් වල සංවර්ධන අවශ්‍යතාවයන් ද ඔවුන්ගෙන් ඍජුවම අසා දැනගැනීමටත් මට අවස්ථාව ලැබුණි. අරලියගහ මන්දිරයේ මාගේ පොහොය දින වැඩසටහන්වලටද ජනතාව දහස් ගණනින් සහභාගි විය.

 

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පළ විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22 ක් බොරැල්ලෙන් “සොයාගත්” බවටත් තවත් වාහන 53 ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පළ විය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයන්ය. ඒවා හමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය. පිටකෝට්ටේ දී හමු වූ අතහැර දමා ඇති වාහන බොහොමයක් රජයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය පරිදි වෙන්දේසි කළ නොහැකි, 1980 දශකය සිට පවතින අධි ආරක්‍ෂිත වාහනය. මමත් මාගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කළ සියලු වාහන නිසි පරිදි භාර දී ඇත. සෙසු වාහන කුමන නිලධාරීන්ට හා ආයතනවලට දී ඇත්දැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලන අංශයේ වාහන ලේඛනයේ සඳහන්ව තිබෙනු ඇත.

 

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති