ඕමන්ත‍ මුරපොළ ඉවත් කිරීමේ සුදානමක් නෑ

ඕමන්ත‍ මුරපොළ ඉවත් කිරීමේ සුදානමක් නෑ

February 3, 2015   12:46 pm

ඕමන්ත හමුදා මුරපොළ ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව යුධ හමුදාව පවසයි.

වැඩබලන යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ ඕමන්ත හමුදා මුරපොළ ඉවත් කර ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.

පෙර පැවති ආකාරයටම ඕමන්ත මුරපොළ පවත්වාගෙන යාමට කටයුතු කරන බව ඔහු පවසයි.

ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි මුරපොළ අඛණ්ඩව පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී ඇති බව ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.

පසුගිය යුධමය කාලසීමාව තුළ ඕමන්ත මුරපොළ යුධ හමුදාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය යන දෙපාර්ශය විසින් පවත්වාගෙන ගිය අතර යුද්ධය අවසන්වීමෙන් අනතුරුව එහි පූර්ණබලය යුධ හමුදාව සතු වුණි.

උතුරේ ජනතාවට දකුණට පැමිණීමේ දී සහ දකුණේ ජනතාව උතුරට යාමේදී මෙම මුරපොළ හරහා ගමන් කිරීමේ දී තොරතුරු වාර්තා කිරීමෙන් අනතුරුව ගමන් කිරීමට හැකිවිය.

කෙසේවෙතත් යුද්ධය අවසන් වීමෙන් අනතුරුව එම පැවති තත්ත්වයන් ලිහිල් වු අතර මෙම මුරපොළ හරහා රැගෙන යනු ලබන භාණ්ඩ පමණක් පරීක්ෂා කිරීම සිදුවු බව සඳහන්ය.