මගේ ඉවත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක්

මගේ ඉවත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක්

January 31, 2015   08:10 pm

තමන් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව මොහාන් පීරිස් මහතා පවසයි.

එය ව්‍යවස්ථානුකූල නොවන බව ඔහු සඳහන් කරයි.

මේ වන තුරු තමන් අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගෙන හෝ අගවිනිසුරු කාර්යාලයෙන් ඉවත් වී නොමැති බව ද මොහාන් පීරීස් මහතා සඳහන් කළේය.

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරේ වැඩ භාර ගැනීමත් ඉන් අනතුරුව එතුමිය විශ්‍රාම ගැනීම පිළිබඳව හා මෙරට 44 වන අගවිනිසුරුවරයා ලෙස කේ.ශ්‍රීපවන් මහතා දිවුරුම් දීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මොහාන් පීරීස් මහතා මෙම අදහස් පළකර තිබේ.

මෙහිදි අදාළ නිවේදනය මගින් මොහාන් පීරීස් මහතා පෙන්වා දී ඇත්තේ බාහිර බලපෑම් හේතුවෙන් ව්‍යවස්ථාවට පටහැනිව තමන් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බවයි.

ඇතැම් අවස්ථා වලදී අයිතීන්ට වඩා බලය ඉක්මවා ගොස් ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් අහිංසකයන්ට අයුක්තියට මුහුණ දීමට සිදුව ඇති බව මොහාන් පීරිස් මහතා පවසා ඇත.

2013 වසරේදී පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බව සඳහන් කරන මොහාන් පීරිස් මහතා එම තීරණය අවසන් තීරණය බවද පවසා තිබේ.

කෙසේ වෙතත් අදාළ පාර්ලිමේන්තු ඡන්දය විමසීමේදී ඡන්දය භාවිතා කළ කිසිදු පුද්ගලයකුට යළි එහි වලංගුභාවය පිළිබඳ ප්‍රශ්න කළ නොහැකි බවද මොහාන් පීරීස් මහතා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පවසා තිබේ.