නව අගවිනිසුරු  දිවුරුම් දෙයි

නව අගවිනිසුරු දිවුරුම් දෙයි

January 30, 2015   07:06 pm

ශ්‍රේෂ්ඨාධිකරණයේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා අද (30) නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී අති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ශිරාණී බණ්ඩාරනායක අගවිනිසුරුවරිය විශ්‍රාම ගැනීමෙන් පසු මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් සිදු කර තිබේ.

1952 පෙබරවාරි 29 වැනිදා උපත ලද කනක සභාපති ශ්‍රී පවන් මහතා යාපනය හින්දු පිරිමි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබිය.

1974 වසරේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා නීතිඥවරයකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලැබූ හෙතෙම 1978 වසරේදී වැඩබලන රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය.

1979 වසරේදී ස්ථිර රජයේ නීතිඥවරයකු ලෙස පත් කරනු ලැබූ ඒ මහතා 1989 වසරේදී රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු ලෙසට උසස් කරනු ලැබිණ.

එකී රාජකාරි කටයුතු අතරතුරම කොළඹ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වී වැඩිදුර නීතිය හැදෑරූ හෙතෙම 1992 වසරේදී වාණිජ නීතිය පිළිබඳ ඩිප්ලෝමාවක් 1994 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීති විශාරද (එල්.එල්.එම්.) උපාධියක් දිනා ගැනීමට සමත් විය.

1996.02.22 වැනිදා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු ලෙස උසස්වීම් ලද කේ. ශ්‍රී පවන් මහතා වෙත අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ විභාග වූ ව්‍යවස්ථාමය නඩු කටයුතු හා මූලික අයිතිවාසිකම් නඩු කටයුතු මෙහෙයවීමේ වගකීම පවරන ලදී.

පුරා වසර 24කට ආසන්න කාලයක් දැඩි කැපවීමකින් හා ඉතා කාර්යක්ෂමව සිය රාජකාරි කටයුතු කොට සිය දෙපාර්තමේන්තුව තුළ කීර්තියක් දිනාගත් ඔහු 2002 වසරේදී අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙසට පත් කරනු ලැබිය.

2007 වසරේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙසට පත් කළ අතර 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිහාල් ජයසිංහ මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් කරනු ලැබූ කේ. ශ්‍රී පවන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2013 වසරේදී වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ද පත් කර එකී තනතුරේ රාජකාරි ආවරණය කිරීමේ වගකීම පවරා තිබුණි.