යතුරු පැදි අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට

යතුරු පැදි අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට

January 30, 2015   07:54 am

හොරණ - තල්ගහවිල මාර්ගයේ තක්ෂිලා උයන පැරකුම් මාවත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

තල්ගහවිල සිට හොරණ දෙසට ධාවනය වු යතුරුපැදියක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 20 හැවිරිදි පොල්කටුව, හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු සහ 19 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර මහියංගනය ගිරිඳුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ තුනේ කණුව ගඟේයාය හංදිය ප්‍රදේශයේ දී යතුරු පැදියක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි, යතුරු පැදියේ ගමන්ගත් බතලයාය, ගිරිඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.