කුමාර් අත්අඩංගුවට ගනීද? - සිදුවන්නේ කුමක්ද?

කුමාර් අත්අඩංගුවට ගනීද? - සිදුවන්නේ කුමක්ද?

January 29, 2015   06:42 pm

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා අද දින අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ උත්සාහයක් තිබුණු බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

එසේ වුවද දීර්ඝ ලෙස කළ කරුණු දැක්වීම් හමුවේ අද දිනයේ ඔහුගේ ප්‍රකාශයන් සටහන් කරගෙන එවන ලද බව ජයගොඩ මහතා සඳහන් කළේය.

එහෙත් හෙට දිනයේද යළි ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කුමාර්ට දැනුම්දී ඇති බව හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පාලක ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා කියා සිටියේ කුමාර් ගුණරත්නම් මහතා ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු නොව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පමණක් හිමි පුද්ගලයෙකු බවයි.

සංචාරක වීසාවකින් මෙරටට පැමිණෙන විදේශීය පුද්ගලයෙකුට අදාළ සංචාරක වීසා කොන්දේසි වලට අනුව රට තුළ කළ හැකි දේ හා කළ නොහැකි දේ පවත්නා බවත්, මොහු ට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව ඒ පිළිබඳ මේවන විටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ඔහු පෙන්වාදුන්නේය.

කුමාර් ගුණරත්නම් මහතා විසින් ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් කටයුතු කර ඇත්ද යන්න පිළිබඳ මෙහිදී අවධානය යොමුකෙරෙන බවත්, යම් වරදක් සිදුකර ඇත්නම් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බැවින් අධිකරණය විසින් ලබාදෙන දඬුවම පිළිබඳ තීරණය කරනු ඇති බව ඔහු අවධාරණය කළේය.