අතුරු අය වැයට පෙර අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අතුරු අය වැයට පෙර අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

January 29, 2015   11:14 am

අද පස්වරු 01ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අතුරු අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.

අතුරු අයවැය මගින් ජන ජීවිතය නඟාසිටුවීම සඳහා සහන රැසක් ලබාදීමට කටයුතු කරන බව රජයේ මැති ඇමතිවරුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක මිල මෙම අයවැය යටතේ අඩුකිරීමට නියමිත බව පැවසේ.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනාකර ඇති සහන ද මෙම අතුරු අයවැය යටතේ ලබාදෙනු ඇත.

මීට අමතරව රේගු බදු ලිහිල් කිරීම, සමෘද්ධි දීමනාව වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම, විශ්‍රාමිකයින්ගේ වැටුප් විශමතා ඉවත් කෙරෙන තෙක් ඔවුන්ට මාසික දීමනාවක් ලබාදීම වැනි යෝජනා ද මෙම අතුරු අයවැයේ ඇතුළත් වන බව සඳහන්ය.