මංගලගේ යුරෝපා සංචාරයෙන් කොළ එළියක්

මංගලගේ යුරෝපා සංචාරයෙන් කොළ එළියක්

January 29, 2015   08:29 am

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන වලට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව යුරෝපා සංගමය පවසයි.

අදාළ තහනම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී යුරෝපා සංගමයේ බලධාරීන් සමඟ සාකච්ජාවක් පවත්වනු ලැබුවේය.

බී.බී.සී ලෝකසේවය වාර්තා කළේ මංගල සමරවීර මහතා යුරෝපා සංගමයේ සමුද්‍ර සහ ධීවර කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා සමඟ සාකච්ජා පවත්වා ඇති බවයි.

එහිදී මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම ඉවත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග යුරෝපා සංගමයේ පැසසුමට ලක්ව තිබේ.

එහෙත් නීති විරෝධීව සිදුවන මසුන් ඇල්ලීම නතර කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකරන තුරු මෙම තහනම ඉවත් කිරීමට නොහැති බව එම සංගමය පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකාවේ නව තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා දුත පිරීසක් මෙරටට එවීමට බලාපොරොත්තු වන බවත්, අනතුරුව පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවත් යුරෝපා සංගමය පවසා තිබේ.

යුරෝපා සංචාරයෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා අද දිවයිනට පැමිණීමට නියමිතය.