මේ දවස්වල හැමෝම හොරු-ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා

මේ දවස්වල හැමෝම හොරු-ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා

January 28, 2015   05:56 pm

මේ දිනවල හැමෝම හොරු බවට පත් කොට ඇති බවත්, හිටපු ජනපති,මැති ඇමතිවරු,රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාම පාහේ හොරු ලෙස නම්කරමින් යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිවුණු තිස්සමහාරාමය ආසනය හැරුණු විට ඊළඟට වැඩිම ඡන්දයක් හිමිවූයේ තමාගේ ආසනය වන හෝමාගම ආසනයේ බවත්, එකී ආසනය තුළම තමාට ‘හොරෙක්‘යයි චෝදනා කරන බෝඩ් උස්සන් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේ බෝඩ් උස්සන් හිටිය කෙනාට එරෙහිව තමා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ගුණවර්ධන මහතා කියා සිටියේ අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

වැරදි කළවුන් සිටීනම් ඒ ගැන සොයාබැලීමට කොමිසමක් පත් කළ යුතුව ඇති බවත්, එසේ නොකොට මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නුසුදුසු බවත් ඔහු පෙන්වා දුන්නේය.

හොරා හොරා යනුවෙන් ආමන්ත්‍රණය කරමින් දින 100 ගෙවුණු පසු එළඹෙන මහමැතිවරණය ජයග්‍රහණය කළ හැකි යයි සිතන්නේනම් එය වැරදීමක් බවත්, තමන් වැරදි කර ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයෙත් තමා බොහෝ කාලයක් දේශපාලනයේ නිරතවෙමින් විවිධ තනතුරු දරා ඇතත් මිනිසුන් මේ තරමට බාල්දුවන වෙනත් කාලයක් තමා අත්දැක නොමැති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

චෝදනා ලබන උදවිය අධිකරණයකින් වරදකරුවන්වීමට ප්‍රථම රටේ ජනමාධ්‍ය විසින් වරදකරුවන් බවට පත්කරන බවත්,තමා ලබාගෙන ඇත්තේ මන්ත්‍රී වැටුප පමණක් බවත් තමාගේ විදුලිබිල පමණක් රු.40,000 ක් වන බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

හොරකම් පිළිබඳ කතා කර කර හිටියද කැබිනට් මණ්ඩලයේද එවැනි හොරකම් වලට චෝදනා ලැබූ අය සිටින බව ද හෙතෙම සිහිපත් කළේය.