උතුරුමැද මහඇමති පුටුව පේෂලට හිමිවෙයි

උතුරුමැද මහඇමති පුටුව පේෂලට හිමිවෙයි

January 28, 2015   11:43 am

උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න මහතා එහි නව ආණ්ඩුකාර පී.බී දිසානායක මහතා ඉදිරියේ අද (28) පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

පේෂල ජයරත්න මහතා ජනපතිවරණ කාලසීමාවේදී සන්ධානයේ සිට පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.

ඔහු උතුරු මැද පළාත් සභාවේ ආහාර, සමුපකාර හා වෙළෙඳ ඇමැතිවරයා ලෙස එවකට කටයුතු කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවීමෙන් පසුව උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිධුරය පේෂල ජයරත්න මහතාට හිමිවීමට නියමිත බව පසුගිය දිනවල වාර්තා වූ අතර ඒ අනූව වර්තමාන මහ ඇමති එස්.එම්.රංජිත් මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවද වාර්තා විණ.

එසේම උතුරු මැද පළාත් සභාවේ බහුතරයකගේ කැමැත්ත පේෂල ජයරත්න මහතාට ලැබී තිබෙන බවද වාර්තා විය.

ඒ මහතා ඉකුත් 2012 උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් පළාත් සභාවට තේරී පත්විණ.

එම පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 338,552ක් ලබාගෙන බෝනස් ආසන ද සමග පළාත් සභාවේ මන්තී‍්‍ර ආසන 21ක් හිමි කර ගත්තේය.

ඡන්ද 196,127ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රී ආසන 11ක්ද, ඡන්ද 16,066ක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණ 1ක් ආසනයක් ද හිමිකර ගත් අතර ඒ අනූව විපක්ෂයට මන්ත්‍රීධුර 12ක් හිමිවිය.