අම්මයි මමයි එළියට ආවේ මැරෙන්න බලාගෙනයි - චන්ද්‍රිකා මගේ හීරෝ

අම්මයි මමයි එළියට ආවේ මැරෙන්න බලාගෙනයි - චන්ද්‍රිකා මගේ හීරෝ

January 27, 2015   12:09 pm

මැරෙන්න හරි බලාගෙන තමා සහ තමාගේ මව පැවති ආණ්ඩුවෙන් එළියට පැමිණි බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසයි.

තමාගේ මව එම තීරණය සම්බන්ධයෙන් බියට පත් වී සිටි බවත්, මේ හේතුවෙන් තමාගේ නැන්දණියද පිටරට සිට මෙරටට පැමිණි බවත්, ඇය සඳහන් කරයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ජන්ම දින සැමරුම සඳහා අද (27) කොළොන්නාව ප්‍ර දේශයේ පැවති සැමරුම් උත්සවයට සහභාගී වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මේ බව සඳහන් කළාය.

එසේම මීට පෙර පැවති ආණ්ඩුව නැවත බලයට පැමිණියේ නම් තමන්ගේ මළ මිනියවත් දකින්නට නොලැබෙන බවද ඇය එහිදී පෙන්වා දුන්නාය.

කොළොන්නාව ප්‍රදේශය විනාශ කළ දුෂිතයින්, හෙරෝයින් ජාවාරම්කරුවන් වහාම ඉදිරියේදී නවත්වන බවත්, මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වු පුද්ගලයින් මෙන්ම අඩුවෙන්ම පාසල් කරා යන ළමුන් වැඩි වශයෙන් කොළොන්නාව ප්‍රදේශයේ සිටින බවත් එහිදී අවධාරණය කළාය.

තවද හිටපු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමාගේ කුඩා කාලයේ සිටි හීරෝ බවත්, තමාගේ පාසල් අවධියේ සිව් වන වසර සිටියදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගැන පවා රචනයක් ලීයු බවත් ඇය වැඩිදුරටත් එහිදී කීවාය.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, සහ රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ, රවී කරුණානායක යන අමාත්‍යවරුන්ද පැමිණ තිබේ.