වීඩියෝ: වාස් හිරේ දැම්මේ ආර්යාවගේ රත්‍රන් ජාවාරම හෙළිවූ හින්දයි

වීඩියෝ: වාස් හිරේ දැම්මේ ආර්යාවගේ රත්‍රන් ජාවාරම හෙළිවූ හින්දයි

January 26, 2015   01:19 pm

උතුරු කොළඹ බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නම්වු තම ස්වාමියාට අභූත චෝදනා එල්ල කොට හිරේ දැමීමට හේතුවූයේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සෘජුව දායකවූ රත්‍රන් ජාවාරමකට අදාළව පරීක්ෂණ පැවැත්වීම බව හිටපු නි.පොලිස්පතිවරයාගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය පවසයි.

රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් ලක්ෂ 5000ක පමණ වටිනාකමකින් යුතු රත්‍රන් කිලෝ 100ක් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට යන බවට හමුදා බුද්ධි අංශ මගින් තම ස්වාමියාට තොරතුරු ලැබී තිබුණු බව ඇය කියා සිටියේ අද( 26) ඇය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊට අදාළව පෙත්සමක් ගොනු කිරීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙම රත්‍රන් ජාවාරමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය දායකවූ බව අනාවරණයවී තිබුණු බවත්, එකී පරීක්ෂණ නවතා සිද්ධිය යටගසන ලෙස එවක බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාවූ අනුර සේනානායක මහතා විසින් නියෝග කළ බැවින් සිද්ධිය යටගසන්නට සිදුවූ බව සැමියා කියා සිටිවග ප්‍රියදර්ශනී පෙරේරා මිය සඳහන් කළාය.

එසේ වුවද මෙම සිද්ධිය ඇතැම් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම නිසා ස්වාමියාට තර්ජන එල්ලවූ බවත්, එහිදී දිනක් ගුවන් විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා නිවසට පැමිණ එකී රත්‍රන් ජාවාරමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධවී නොමැති බවට ප්‍රකාශයක් කරන ලෙස වාස් ගුණවර්ධනගෙන් ඉල්ලා සිටි බවත් ඇය අනාවරණය කළාය.

කෙසේ වුවත් ඊට ටික දිනකට පසුව තම ස්වාමි පුරුෂයාට අභූත චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්, පුතු රවිඳු ගුණවර්ධනටද එසේ කළ බවත්, තමාට දිගින් දිගටම තර්ජන එල්ල කොට නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවත් ඇය අවධාරණය කළාය.

නව රජය විසින් දූෂණ,වංචා වලට එරෙහිව කටයුතු කරන බැවින් මෙම සිද්ධියට අදාළව පැමිණිලි කරන ලෙස සැමියා විසින් තමාට උපදෙස් දුන් බවත්, ඉදිරියේදී සැමියා දැන සිටින බොහෝ දේවල් අනාවරණය කරමින් පරීක්ෂණ වලට සහයදෙන්නට තීරණය කර සිටින බවත් පෙරේරා මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

කෙසේ වුවද වාස්‌ ගුණවර්ධන මහතාගේ පවුල කාලයෙන් කාලයට මෙරට පුවත් මවන පවුලක්‌ ලෙස සැලකුණි.

එහිදී වාස්ගේ බිරිඳ වූ ශ්‍යාමලී පෙරේරා නමැත්තියද ඒ අතර ප්‍රධාන චරිතයක්‌ විය. හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට සිය සේවා කාලය තුළදී නීත්‍යනුකූලව හිමිව තිබූ නිල බලයටත් එහා ගිය බලයක්‌ ඔහුගේ බිරිඳ හා පුත්‍රයා පාවිච්චි කර ඇති බවටද චෝදනා නැඟිණ.

බොහෝ බිරින්දැවරුන් හා දූ දරුවන් ඔවුන්ගේ සැමියාගේ හෝ පියාගේ දේපළවලට ඇති උරුමය සේම එම නිල උරුමයද භාවිත කිරීම නිසා සිදුවී ඇති ආරවුල්ද සමාජය තුළ සුළු පටු නොවේ.

වාස්‌ ගුණවර්ධනගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරාත් හා පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන මුලින්ම කරළියට එන්නේ 2011 ජනවාරි 22 දා සිද්ධියක් සමගය. එකල මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ඉගෙනුම ලබමින් සිටි වාස්‌ ගුණවර්ධනගේ පුත් රවිඳු සිය පියාගේ තනතුරුවලින් උද්දීපනය වී කළ කී දෑ ගැන ප්‍රබල චෝදනා තිබිණ.

එහිදී ඔහු හා එම ආයතනයේම ඉගෙනුම ලබන සහෝදර සිසුවකු වූ නිපුන රාමනායක අතර ඇති වූ කතාබහකට ඔහුගේ නිවසට ගොස්‌ පහරදීමට තරම් කුඩා වාස්‌ පුතු පන්නරය ලබා තිබූ බව කියැවිණ.

ඔහු එම අවස්ථාවේ සිය පියා යටතේ සේවය කරන පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ සමග එකතු වී එකී සිසුවාට පහරදීමේ සිදුවීම ගැන එකල බොහෝ සේ කතාබහට ලක්විය. මෙම සිද්ධියට අදාළව ඇතිවූ සමාජ කැළඹීම නිසා වාස්‌ ගුණවර්ධනගේ බිරිඳ, පුතා ඇතුළු සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

මෙම සිද්ධියත් සමග තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් වාස්‌ ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ගෙන් රුපියල් කෝටි 10 ක මුදලක්‌ වන්දි ලෙස ඉල්ලා නිපුන රාමනායක සිසුවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කිරීමට පියවර ගත් බව පැවසිණ.

මෙම සිද්ධීන් මෙලෙස ක්‍රියාත්මක වෙද්දී වාස්‌ ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයකු ලෙස ගාල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල සිය වික්‍රමයන් පවත්වා බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වීමට තරම් වරම් ලැබීය.

නව තනතුරේ වැඩ බාර ගත් ඔහු ජනතාවට අසාධාරණයක්‌ වූ විට පොලිසියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව කළ කතාවන් පුරසාරමක්‌ වන්නේය. ඔහුගේ එම ප්‍රකාශ අද ඔහුටම පාරාවළල්ලක්‌ වී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මුදලට පුද්ගලයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාව මේවන විට නීතියේ රැහැනට කොටු වී සිටි.

එනම් එහි ආසන්නතම සිදුවීම වන බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම්ගේ ඝාතනයත් සමගය. මෙම ඝාතනයට වාස්ගේ ගෝලබාලයින් බව කියන සැකකරුවන් ද නීතියේ රැහැනට කොටු වී සිටී.

එම සිදුවීම ගැන ඔවුන් තොරතුරු හෙළි කිරීමත් සමග ඒ ගැන දැනගත් වාස්‌ගේ බිරිඳ සැකකාර ගෝල බාලයන්ගේ සුවදුක්‌ විමසනු රිසින් තමන්ට එරෙහි නොවන ලෙසට ඉල්ලා ඇති බවද වාර්තා විය.

එසේම සිද්ධියට අදාළව සිදු කරනු ලබන පරීක්‍ෂණවලදී හෙළි වූ තොරතුරු මත හිටපු නියෝජ්‍ය පොලිස්‌පති පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන ද මෙහි සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගත් අතර නඩුවේ සාක්ෂි කරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා ද වාස්ගේ බිරිඳට එල්ල විණ.