මානව හිමිකම් ක්‍රියාවලියට නව ප්‍රවේශයක් ගන්නවා

මානව හිමිකම් ක්‍රියාවලියට නව ප්‍රවේශයක් ගන්නවා

January 20, 2015   08:58 am

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය සඳහා නව ප්‍රවේශයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉන්දියාවේ සංචාරයක නිරත වන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමේ දී පසුගිය රජය ගෙන ගිය ක්‍රියාපිළිවෙතට වෙනස් වු ක්‍රියාමාර්ගයක් තම රජය අනුගමනය කරන බව මංගල සමරවීර මහතා මෙහිදි පවසා ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

එය නව ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය වන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ද ලබන මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.