ශ්‍රී ලංකාවේ සාමකාමි පරිසරයක් බිහිවනු දැකීම අභිප්‍රායයි

ශ්‍රී ලංකාවේ සාමකාමි පරිසරයක් බිහිවනු දැකීම අභිප්‍රායයි

January 13, 2015   10:36 am

ශ්‍රී ලංකාව මානව හිමිකම්වලට ගරු කරන ආගමික හා දේශපාලන සංහිඳියාව ඇති රටක් බවට පත්වනු දැකීම තම අභිප්‍රාය බව අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටු‍පළින් දිවයිනට පැමිණීමෙන් පසු එහි සකසා තිබූ විශේෂ පීඨිකාව මත සිටය. ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය දැඩි ලෙස අගය කරන බවද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එහිදී පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දිවයිනට සැපත් වුණ ශුද්ධෝත්තම පාප්වහන්සේ මෙරට ආණ්ඩුව සහ රට වැසියන් වෙනුවෙන් උණුසුම්ව පිළිගන්නා බවයි.

වතිකානයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායකට පැමිණි පාප් වහන්සේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස විසින් ඉතා හරසරින් පිළිගන්නා ලදී.

ත්‍රිවිධ හමුදා උත්තමාචාරය මැද රතු පලස මතින් විශේෂ පීඨිකාවට සැපැත් වූ පාප් වහන්සේ මහා සංඝරත්නය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු කතෝලික පූජාකවරුන් හා වෙනත් ආරාධිතයන්ට අතට අත දුන්නේය.

අනතුරුව ගුවන් තොටුපොළේදී ස්වර්ණ පුස්තකයේ සිය අත්සන තැබූ පාප් වහන්සේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගුවන් තොටුපළේ පිහිටි සිරිලක් මැඳුරට කැඳවාගෙන යන ලදී.

මේවන විට උන්වහන්සේ කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ දක්වා විශේෂ රිය පෙරහැරකින් කැඳවාගෙන එමින් සිටින අතර අද සවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ලංකාවේ ආගමික නායකයන් හමුවීමට ද සැලසුම් කර ඇත.

මේවන විටත් පාප් වහන්සේට ආචාර කිරීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් මග දෙපස රැස්ව සිටින අයුරු දැක ගත හැකිය.



උන්වහන්සේ රැගත් රථ පෙරහැර කොළඹ - මීගමුව පරණ පාර ඔස්සේ තොටළඟ හංදිය, මරදාන, බොරැල්ල හරහා කොළඹ වතිකාන තානාපති කාර්යාලයට පැමිණෙමින් සිටියි.

මේ අතර ශුද්ධෝත්තම පාප් වහන්සේ දහවල් 1.15ට පමණ අගරදගුරු මැදුරේ දී ශ්‍රී ලංකා කතෝලික රදගුරු මඩුල්ල හමුවන අතර පස්වරු 5ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විශේෂ හමුවක් ජනාධිපති මන්දිරයේ දී පැවැත්වෙයි.

අන්තර් ආගමික නායක හමුව බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පස්වරු 6.15ට ආරම්භ වීමට නියමිතය.

ගාලුමුවදොර පිටියේ දී දිව්‍ය පූජා යාගය සහ භාග්‍යවන්ත ජුසේවාස් පියතුමන් ශුද්ධවරයට එසවීම හෙට උදෑසන 8.30ට සිදුකෙරෙයි.

ශුද්ධෝත්තම පාප්වහන්සේ එදින පස්වරුවේ මඩු සිද්ධස්ථානය වෙත පිටත් වන අතර එහිදී යාඥා මෙහෙයක් පැවැත්වෙයි.

ජනවාරි15 වැනිදා උදෑසන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සමුගැනීමේ උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී පැවැත්වීමට නියමිතය.