පළාත් ඇමති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

පළාත් ඇමති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

January 5, 2015   04:22 pm

ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ජනවාරි මස 26 වන දිනට හෝ ඊට පෙරාතුව පළාත් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය මගින් නියම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඉකුත් 3 වන දින බදුල්ල, ඇල්ල ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි තැපැල් සේවකයෙකුට අමාත්‍යවරයා විසින් පහරදුන් බවට ඇල්ල පොලීසියට පැමිණිලි ලැබී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පෙරියසාමි ඥානසේකරන් නමැති මෙම තැපැල් සේවකයා එදින නිල ඡන්ද පත්‍රිකා බෙදාදෙමින් සිටියදී මහ මගදී අමාත්‍යවරයා රැගත් මෝටර් රථය හමුවී ඇති බවත්, එහිදී අමාත්‍යවරයා විසින් මොහු ළඟට කැඳවා පහරදී ඇති බවත් සඳහන්ය.

එම පහරකෑමෙන් පසු නාසයෙන් හා කටින් ලේ වහනයවීම හේතුවෙන් මෙම සේවකයා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ වුවද තැපැල් සේවකයා සතුව බෙදාහැරීම සඳහා පැවති ඡන්ද පත්‍රිකා 38 ක් හා ඒ මොහොතේ ඔහු සතුව පැවති මුදල්ද අතුරුදහන්වී ඇති බවට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව අප වාර්තාකරු කියා සිටියි.

ඒ අනුව සැකකාර තොණ්ඩමාන් මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණය විසින් පළාත් අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.