සුනාමියට දස වසරයි - 09.25 සිට 09.27 දක්වා නිශ්ශබ්දවන්නැයි ඉල්ලීමක්

සුනාමියට දස වසරයි - 09.25 සිට 09.27 දක්වා නිශ්ශබ්දවන්නැයි ඉල්ලීමක්

December 26, 2014   08:59 am

සුනාමි ව්‍යයසනයට මුහුණදීම අනුස්මරණය කිරීම වෙනුවෙන් නම් කෙරුණු ජාතික සුරක්ෂිතතා සැමරුම් දිනය අදට යෙදී තිබේ.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා මෙරට සුනාමි ව්‍යවසනයට ලක්ව අදට දස වසරක් ගතවෙයි.

ඒ නිමිත්තෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිතය.

සුනාමියෙන් සහ විවිධ ව්‍යවසනයන්ගෙන් විපතට පත්වුවන් සිහිකිරීම සඳහා අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා විනාඩි 02ක කාලයක් නිශ්ශබ්දව සිටින ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

2004 වසරේ නත්තල් දිනයට පසුදා එළඹි උඳුවප් පොහෝදා මෙරට ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය වු සුනාමි ව්‍යවසනයට ලක්වීමෙන් පුද්ගලයන් 40,000ක් පමණ මිය යන්නට හෝ අතුරුදන් වන්නට ඇතැයි අනාවරණය විණ.

ඉතිහාසයේ දුම්රියක් සම්බන්ධයෙන් සිදුවු විශාලතම මරණ සංඛ්‍යාව ලෙස සැලකෙන පැරෑලිය, තෙල්වත්ත දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 1700 ඉක්මවන බවට සංඛ්‍යා ලේඛණ මගින් අනාවරණය විය.

පළාත් 04 කට අයත් දිස්ත්‍රික් 13ක වැසියන් පන්ලක්ෂයකට පමණ මෙමගින් උන්හිටිතැන් අහිමි වු අතර නිවාස එක්ලක්ෂ පනස් දහසකට වැඩි සංඛ්‍යාවක් හානියට පත් වුණි.

මාර්ග, පාලම්, ගොඩනැගිලි වැනි කෝටි ගණනක යටිතල පහසුකම් ද සුනාමි ජල පහරට හසුව විනාශ වී තිබුණි.

රිච්ටර් පරිමාණයේ ඒකක 8.7ක ප්‍රබලතාවයෙන් සුමාත්‍රා දුපත් ආශ්‍රිතව හටගත් භූකම්පනයත් සමඟ ඇති වු සුනාමියෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කට අයත් පුද්ගලයන් දෙලක්ෂ 70,000ක් පමණ මියගොස් ඇත.

සුනාමියෙන් අහිමිවු ජීවිත සහ දේපළ පිළිබඳව නිවැරදි තක්සේරුවක් තවමත් සිදුව නොතිබුණත් ගතවු දස වසර තුළ ඉන් පීඩාවට පත්වුවන් යළි නඟා සිටුවීමට පියවර රැසක් ක්‍රියාත්මක වුණි.

2006 වසරේ දී ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යංශය කැබිනට් අමාත්‍යංශයක් ලෙස පිහිටුවීම, 2009 වසරේ දී හඳුන්වා දුන් දස අවුරුදු මාර්ග සිතියම මගින් හඳුනාගත් ව්‍යවසන වළක්වා ගැනීම සහ ඒවායේ හානිය අවම කර ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙන්ම ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම ද ඒ අතරින් විශේෂයි.

දස වසරක් තුළ යළි සුනාමි ව්‍යවසනයකට ලක් නොවුවද ශ්‍රී ලංකාව වැඩිවශයෙන් ප්‍රධාන ස්වභාවික ආපදාවන් වලට මුහුණ දෙමින් සිටියි.

මෝසම් වැසි හේතුවෙන් ඇතිවන ජල ගැලීම් හා නායෑම් තත්ත්වයන් ද, මෝසම් වැසි ප්‍රමාද වීමෙන් ඇති වන නියං තත්ත්වයන් ද ඒ අතරින් කැපී පෙනෙයි.