ප්‍රචණ්ඩත්වයෙන් පෙනෙන්නේ රාජපක්ෂ පාලනයේ දුක්ඛිත භාවයයි

ප්‍රචණ්ඩත්වයෙන් පෙනෙන්නේ රාජපක්ෂ පාලනයේ දුක්ඛිත භාවයයි

December 22, 2014   01:44 pm

මෑත කාලීනව පොදු විපක්ෂයේ ක්‍රියාකාරීන්ට එරෙහිව දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදාහැරීමට රාජපක්ෂ පාලනය විසින් කටයුතු කර ඇති බව එජාප නායකත්ව මණ්ඩල සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා පවසයි.

ඒ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

පොදු විපක්ෂයේ ආධාරකරුවන් හා ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් මෑතක දී සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පැහැදිලිවම පෙන්නුම් කරනුයේ ආඥාදායක රාජපක්ෂ පාලනය යටතේ ප්‍රජාතන්ත්‍රීය අවකාශයකට රට තුළ තවත් ඉඩක් නොමැති බව ය. විශේෂයෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වය අප සියළු දෙනා ගිල ගැනීමට මත්තෙන් මෙම භයංකාර ගමනේ දිශානතිය වෙනස් කළ යුතු බවට වන හදිසි පණිවිඩය මෙම සිදුවීම් හරහා යළිඳු වතාවක් පෙන්වා දී තිබේ.

පොදු විපක්ෂය විසින් හපුතලේ ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා සංවිධානය කර තිබූ මැතිවරණ ප්‍රචාරක රැළියක් රජයට සම්බන්ධ එහි සම්පූර්ණ ආශිර්වාදය ලත් දේශපාලන මැරයන්ගේ ඉලක්කයක් බවට පත් වූ අතර, එම මැර ප්‍රහාරය එල්ල වී තිබුණේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීම් භූමියට පැමිණිමට මිනිත්තු දහයකට පමණ පෙර දීය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එම රැස්වීම සංවිධානය කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා වත්මන් ඌව පළත් සභා විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ය.

මේ අතර, ඊට පසු දින කලාකරුවන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශාපලනඥයන්ගේ ප්‍රහාරයකින් තුවාල ලබා තිබුණේ ජනාධිපතිවරයාගේ උපන් ගම වන හම්බන්තොට දීය. එහිදී හම්බන්තොට මහ නගර සභාවේ විපක්ෂ නායක අයුබ්ඛාන් මහතා ට මැරයන් පහර දී තිබුණේ හම්බන්තොට බස් නැවතුම්පළ අසල සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරය අතරතුර දීය. මහ දහවලේ සිදු වූ මෙම මැර ප්‍රහාරය මෙහෙයවා තිබුණේ කුප්‍රකට සෙල්ලම් පිස්තෝල සිදුවීම නිසාවෙන් ප්‍රසිද්ධියට පත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ය. මීට මාස කිහිපයකට පෙර ද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිළිබඳව තොරතුරු සොයා බැලීමට කරන ලද නිරීක්ෂණ චාරිකාවක් අතරතුර දී මෙම අපකීර්තිමත් නගරාධිපතිවරයා ගේ මෙහෙයවීමෙන් සිදු වූ පහර දීම් හා බයගැන්වීම් ක්‍රියාවලියක් තුළ අප පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මාධ්‍යවේදීන් පිරිසක් ඇතුළුව විපක්ෂ ක්‍රියාකාරීන් රැසක් හිංසාවට හා පීඩාවට පත්ව තිබුණි.

ඉතා හාස්‍යජනක ආකාරයෙන් පසුව මෙම නගරාධිපතිවරයා සඳහන් කර තිබුණේ තමන් ඒ අවස්ථාවේ දී පිටතට ප්‍රදර්ශනය කරන ලද පිස්තෝලය සෙල්ලම් පිස්තෝලයක් බව ය. ඒ මොහොතේ දී තම ගෝලයා කළ වරද පෙන්වා දැනමුතුකම් දෙනවා වෙනුවට ජනාධිපති රාජපක්ෂ සිදු කළේ ඔහු පැවසූ විකාරය පිළිගැනීමට කටයුතු කිරීමය. එසේ භාර ගැනීමෙන් නතර නොවී තමන් වෙනුවෙන් දැක්වූ පක්ෂපාතීත්වය වෙනුවෙන් නගරාධිපතිවරයාව ඇගයීමට පවා ජනාධිපතිවරයා පසුව කටයුතු කළ බව දැනගන්නට ලැබුණි. අනිවාර්යයෙන්ම, එරාජ් ප්‍රනාන්දු යනු රාජපක්ෂ පාලනය විසින් මෙරට සමාජ දේහය වසා පතුරුවා ඇති බරපතළ රෝගයේ එක් ප්‍රකාශනයක් පමණි.

වත්මන් දූෂිත රජය ප්‍රාදේශීය දේශපාලනඥයන් වෙත තමන්ට අවැසි පරිදි සිතූ සේ දූෂණ හා හිංසනයන් කිරීමට මුක්තිය ලබා දී ඇත්තේ ඔවුන්ව තව තවත් ශක්තිමත් කරමිනි. පැහැදිලිවම ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් මෙහෙයවන මෙම අපරාධ ක්‍රියාවන් රජය නිරතුරුවම දිරිමත් කරමින් සිටී. සිදු කළ පෙර වැරදි නිසාවෙන් පසු පසට වීසි කර දැමිය යුතු හම්බන්තොට නගරාධිපතිවරයා වැන්නන් දිස්ත්‍රීක්කයේ රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරය තුළ පෙරමුණේ ම සිටිනුයේ ඒ සන්දර්භය තුළ ය. රාජපක්ෂ රෙජීමය යටතේ දූෂිත හා ප්‍රචණ්ඩ අශික්කිත දේශපාලනඥයන් හට අනිවාර්ය පැවැත්මක් සහිත බවට එරාජ් ප්‍රනාන්දු ගේ මෙම ක්‍රියාවන් පැහැදිලි පිළිබිඹුවකි.

මීට පෙර සිදු වූ මෙබඳු සිදුවීම්වල දී මෙන්ම ම මෙම සිදුවීම් ද්විත්වයෙහි දීත් නීතිය හා සාමය සුරැකීමේ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමෙන්තුව කිසිදු විරෝධයක් නොදක්වා අපරාධකරුවන්ට බුරුලක් ලබා දීම ට කටයුතු කර තිබේ. ඉන් නොනැවතී සමහර අවස්ථාවලදී රාජපක්ෂ මැරයන්, විපක්ෂ ක්‍රියාකාරීන්ට පහර දෙත් දී ඔවුනට ආරක්ෂාව සැලසීමට ද පොලිසිය කටයුතු කර තිබීම අතිශයින් ම කනගාටුදායක ය. කෙසේ වෙතත්, තමන්ගේ සැබෑ ගති ස්වභාවයන් යළිදු වතාවක් පිටතට ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ රෙජීමයට හා ඔවුන්ගේ ප්‍රාදේශීය තක්කඩි ගෝල බාලයන් හට පොදු විපක්ෂයේ ස්තූතිය පළ කිරීමට අප මෙය අවස්ථාවක් කර ගන්නෙමු. මෙම සිදුවීම් හරහා තදබල ලෙස රටට වෙනසක් අවශ්‍ය බවට වන පණිවිඩය යළිත් ඔවුන් සියළු ලාංකිකයන් වෙත සිහිපත් කර ඇත. මේ ආකාරයෙන් බය ගැන්වීම් හා ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් ඉදිරි ජනාධිපතිවරණයේ දී සිදු වන වෙනස ආපසු හැරවිය හැකි බවට යමෙකු සිතනවා නම් එය ඔහු සිදු කරගන්නා බරපතළ අත්වැරදීමකි.

රට පුරා පොදු විපක්ෂයට හිමිව ඇති පිළිගැනීම, ඒ ගැම්ම රාජපක්ෂ රෙජීමයට දැන් දැනෙමින් තිබේ. යුක්තිගරුක, ධාර්මික දේශයක් වෙනුවෙන් මතුව ඇති ජනතා බලය අද ඔවුන් සජීව ව දකිමින් සිටී. පාදඩයන් හා උන්මත්තකයන් ට නීතියේ රැහැනින් බේරීමට අවශ්‍ය රැකවරණය සපයමින් ඔවුන් ව ඉදිරියට දමා ගනිමින් සිදු කරන මෙබඳු සිදුවීම්වලින් පෙනෙන්නට ඇත්තේ ඒ මතුව ඇති ජනතා බලය හමුවේ රාජපක්ෂ රෙජීමය පත්ව ඇති දුක්ඛිත තත්ත්වයේ තරම මිස වෙනකක් නොවේ.

අනිවාර්යයෙන්ම ජනවාරි 08 වැනිදා රාජපක්ෂ රෙජීමයේ මෙම විගඩම ජනතාව තිත තබනවා නිසැක ය. අනිවාර්යයෙන්ම ඒ සුවිශේෂී දිනයේ දී මෙම මැර තක්කඩියන්, මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් හා මිනීමරුවන් ට එරෙහිව සාධාරණත්වය නිසි ලෙස උදා වනවා ඇත. රාජපක්ෂ රෙජීමය යටතේ එබඳු සමාජ විරෝධීන් ට එරෙහිව යුක්තිය ඉටු වෙතැයි ජනතාවට තවත් බලාපොරොත්තු කිසි ලෙසකින් හෝ තබා ගත නොහැකිය. එබැවින් මෙම අශිෂ්ට ප්‍රචණ්ඩත්වයට හා අපරාධකරුවන් හා දූෂිතයන් රකින මුක්තියට එරෙහිව, රාජපක්ෂ රෙජීමයේ මැරකමට හා බිය ගැන්වීමට එරෙහිව නව රටක් වෙනුවෙන්, මෛත්‍රීපාල සිරිසේන මහතා ට ජනවාරි 08 වැනිදා ජනතාව තම ඡන්දය ප්‍රකාශ කිරීම අතිශයින්ම වැදගත් ය.