රාජ්‍ය සේවක වැටුපට 10,000ක් - පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්

රාජ්‍ය සේවක වැටුපට 10,000ක් - පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්

December 21, 2014   09:13 pm

මීට පෙර ජනාධිපති මන්දිර තිබුණේ කොටුව, නුවර, නුවරඑළිය, අනුරාධපුර යන ප‍්‍රදේශවල නමුත්, කෝටි ගණනක ජනතා ධනයක් වියදම්කර දකුණ, සබරගමු, උතුර යන පළාත්වල ප‍්‍රාන්ත මාළිගාමෙන් අධිසුඛෝපභෝගී ලෙස ජනාධිපති මන්දිර හදා ඇතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (21) හඟුරන්කෙත රිකිල්ලගස්කඩදී පැවසීය.

‘‘සංවර්ධනය මුවාවෙන් 40% ක් සංවර්ධනය සඳහා යොදවා අනෙකුත් 60% ක මුදල රාජපක්‍ෂ ආණ්ඩුව විසින් තම සුඛවිහරණය සඳහා යොදාගෙන ඇති බවත්, සංවර්ධනයට යොදවන ඇස්තමේන්තුව නිරීක්‍ෂණය කිරීමට ජනතාවට අයිතියක් ඇති නමුත්, රාජපක්‍ෂ පාලනය විසින් එම තාක්‍ෂණික කමිටුවලට ඇස්තමේන්තු කළ සැබෑ මුදලට වඩා තුන් ගුණයක් මුදල් ඊට එක්කරන ලෙස පවසා ඇතැයි හෙතෙම කීවේය.

උතුරු දුම්රිය මාර්ගය මිලියන 44 කින් නිම කිරීමට හැකි වුවත්, එය ඇස්තමේන්තු කරන ලද්දේ මිලියන 340 ක් ලෙස බවද, සංවර්ධනය මුවාවෙන් ඔවුන් ජනතාව මුලාකරන අයුරු මෙමගින්ම මනාව පැහැදිළි වන බවද සිරිසේන මහතා පැවසීය.

උතුරු නැගෙනහිර ජීවත් වන වතුකරයේ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයෙන් තම ජීවිකාව ගත කරන බවත්, රාජපක්‍ෂ පවුල විසින් මන්දිරයේ සිට රාජ භෝජන ආහාරයට ගන්නා විට අති විශාල පිරිසක් එදිනෙදා ජීවත් වීමටත් අපහසු මට්ටමක සිටින බවත්, ඔහු පෙන්වාදුන්නේය.

සදාචාරය, නීතීයේ ආධිපත්‍යය රාජපක්‍ෂ පාලනය විසින් බිඳ දමා ඇතැයිද හෙතෙම කීවේය.

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ලෙස කටයුතු කරන විට සති දෙකක් තුළ බොරු චෝදනා මත තනතුරින් ඉවත් කරණු ලැබුවේ අරලියගහ මන්දිරයේ සිට දුරකථන ඇමතුමකින් නඩු තීන්දු වෙනස් කිරීමට නොහැකි වූ විට බවද මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

එය සමස්ථ කාන්තා පරපුරටම, මව්වරුන්ටම කළ හිංසාවක් බවද, මහින්ද රාජපක්‍ෂ මහතා කම්කරු ඇමති ලෙස කටයුතු කරන විට කම්කරුවන් සඳහා ප‍්‍රඥප්තියක් ගෙන ආ නමුත් ජනාධිපති ලෙස පත්වී වසර 10 ක් ගතවූවත් ප‍්‍රඥප්තිය පිළිබඳ සඳහනක්වත් නැති බවත්, කීවේය.

රාජපක්‍ෂ පාලනය විසින් රණවිරුවන් කම්කරුවන් බවට පත්කර ඇති බවත්,. මැතිවරණ අරමුණු කරගෙන රාජ්‍ය සේවකයින්ට බයිසිකල් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, රාජ්‍ය නිලධාරීන්ට හැමවිටම බොරු පොරොන්දු ලබාදෙමින් සිටින බවත්, හෙතෙම කීවේය.

රාජ්‍ය සේවය තුළ ලක්‍ෂ 15ක් පමණ සිටින බවත්, පහල සේවයේ ලක්‍ෂ 12.5 ක පමණ සිටින බවත්, ඔවුන් බරපතළ ප‍්‍රශ්නවලට මුහුණ දී සිටින බව තමන් දන්නා බවත්, ඔහු කියා සිටියේය.

ජනවාරි 8 වනදායින් පසු මෛත‍්‍රී පාලනයක් තුළින් වැටුපට රුපියල් 10,000/- ක මුදලක් තුන් මසක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බවද, ලක්‍ෂ 24 ක්වූ පෞද්ගලික සේවකයින්ට විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දෙන බවද, හෙතෙම පැවසීය.

මේ වන විටත් රට තුළ නව රැල්ලක් එක්ව ඇති බවත්, රාජපක්‍ෂ පවුලේ රාජ්‍ය බලය, ධන බලය, අවි බලය ජනවාරි 8 වනදාට ජනබලයට යටත්වන බවත්, ඔහු කියා සිටියේය.

ඒ ජනරැල්ල බත් පැකට්ටුවකට සීමාවූ ජනතාවක් නොවන බවද, අනුරාධපුරයේ පැවති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන රැළියේදී බස්රථ 1,200 කින් සිවිල් ආරක්‍ෂක නිලධාරීන් 15,000 ක් සහ සමෘද්ධී නිලධාරීන් බලය පාවිච්චි කර ගෙන්වා ගත් බවද, මෛත‍්‍රී ජන රැල්ල කිසිවෙකුට නැවැත්විය නොහැකි බවද, ඔහු අවධාරණය කළේය.