පීඩාවට පත් ජනතාව ගැන ජනපතිගේ  අවධානය යොමුවෙයි

පීඩාවට පත් ජනතාව ගැන ජනපතිගේ අවධානය යොමුවෙයි

December 21, 2014   12:30 pm

අයහපත් කාලගුණ තත්ත්වය බලපා ඇති දිස්ත්‍රික්කවල ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු විධිමත් සහ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බවයි.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ත්‍රීකුණාමලය, පුත්තලම මන්නාරම, මාතලේ වව්නියාව, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්ව සිටියි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටින අතර තුර එම දිස්ත්‍රික්කවල ජනතාවගේ තත්ත්වය පිළිබඳව පෞද්ගලිකවම සොයා බලා ඇති බව වාර්තා වෙයි.

එම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සහන කටයුතු පිළිබඳව සොයාබැලූ ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ දිස්ත්‍රික්කවල ලේකම්වරුන්ට, ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇත්තේ එම ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර බොරු ප්‍රචාර වලට රටේ ජනතාව රැවටිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පොතුවිල් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට දැවැන්ත සංවර්ධනයක් කරා ගෙනයාම තම රජයේ අරමුණ බවයි.