සන්ධාන මන්ත්‍රී බැංකු ආරක්ෂකයාට පහරදීලා-මන්ත්‍රී නිදැල්ලේ-ආරක්ෂකයා රෝහලේ

සන්ධාන මන්ත්‍රී බැංකු ආරක්ෂකයාට පහරදීලා-මන්ත්‍රී නිදැල්ලේ-ආරක්ෂකයා රෝහලේ

December 19, 2014   05:19 pm

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර නගර සභාවේ නාගරික මන්ත්‍රී නලින් ඉරාජ් විසින් බැංකුවේ ආරක්ෂකයෙකුට කළ පහරදීමට විරෝධය දක්වා බැංකු සේවකයින් විසින් කළුතර බස්නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබේ.

මෙම මන්ත්‍රීවරයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර දඬුවම් පමුණවන ලෙස හා බැංකු සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති කේසර කෝට්ටේගොඩ මහතා කියා සිටියි.

අද පස්වරුවේ රාජ්‍ය බැංකුවක් වන ‘නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ‘කළුතර ශාඛාවට පැමිණි සන්ධාන මන්ත්‍රීවරයා තමා විසින් නොගෙවන ලද බැංකු ණයක් පිළිබඳ බැංකු සේවකයින්ට තර්ජනය කර තිබේ.

මෙහිදී පහළ නිලධාරීන් විසින් බැංකු ශාඛාවේ කළමනාකාරවරයා වෙත මේ බව දන්වා අදාළ නාගරික මන්ත්‍රීවරයා කළමනාකාරවරයා වෙත යොමු කළ අවස්ථාවේදීත් ඔහු පෙර පරිදිම අසභ්‍ය වචනයෙන් බැණවැදී කලබල කළ බවත්, එහිදී බැංකුවේ ආරක්ෂකයා පැවති අසභ්‍ය වචන නොකියා සාකච්ඡා කර ගැටළුව විසඳාගන්නා ලෙස ඉල්ලා සිටි බවත් සඳහන්ය.

එම අවස්ථාවේදී කොපාවිෂ්ඨ වූ මන්ත්‍රීවරයා ආරක්ෂකයාට බිම පෙරළාගෙන පහරදුන් බවත්, එහිදී කටේ දත් කිහිපයක් හැළී බරපතළ තුවාල ලැබූ ආරක්ෂකයා නාගොඩ රෝහලට ඇතුළත් කළ බවත් කොට්ටේගොඩ මහතා කියා සිටියේය.

මේ පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක් කළද මෙතෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර නැති බවත්, බැංකු නිලධාරී තමාට පහරදුන් බවට මන්ත්‍රීවරයාද පැමිණිල්ලක් දමා ඇති බවට ආරංචියක් පවතින බවත් ඔහු කියා සිටියේය.

දේශපාලනය බලය යොදවා මෙම මන්ත්‍රීවරයා විසින් සිදුකළ පහරදීමට අදාළව වහා නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති බවත්, තුවාල ලැබූ ආරක්ෂකයාට වන්දියක් ලබාදිය යුතුව ඇති බවත්, ඒ සඳහා රජයට බලකරන බවත් කෝට්ටේගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.