මං ආණ්ඩුවට ගියේ ෆොන්සේකා ගැන හිතලයි

මං ආණ්ඩුවට ගියේ ෆොන්සේකා ගැන හිතලයි

December 19, 2014   04:04 pm

තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීමට තීරණය කරනු ලැබුවේ තමන් ගැන සිතා නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසයි.

තමා පක්ෂයේ නියෝජ්‍ය නායකයා බැවින් තමා ගැන සිතුවේ නම් තවදුරටත් පක්ෂය තුළ සිටින බව හෙතෙම කියා සිටියේ අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

තමන් ආණ්ඩුවට සහයදීමේදී කොන්දේසි ලෙස ආරක්ෂක ලේකම්වරයා සමගත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගත් සාකච්ඡා කරනු ලැබුවේ සරත් ෆොන්සේකා මහතාට අහිමි කරනු ලැබුවේ විශ්‍රම වැටුප ඇතුළු වරප්‍රසාද යළි ලබාදීමට බව කැටගොඩ මහතා සඳහන් කළේය.

තමා ප්‍රථමයෙන් සරත් ෆොන්සේකා මහතාටත්,ඔහුගේ බෑනණුවන් වන ධනුන තිලකරත්න මහතාටත් පවත්නා නඩුවලින් ඔවුන් නිදහස් කරදෙන ලෙස ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එසේම ඉකුත් ජනාධිපතිවරණ සමයේ ආධාර මුදල් ලෙස ලැබුණු කෝටි 7ක පමණ මුදලක් මේවන විට බැංකු ලාච්චුවේ රාජසන්තකව පවතින බැවින් එයද නිදහස් කරදෙන ලෙස තමන් ඉල්ලූ බවත්, ජනාධිපතිවරයා ඒ පිළිබඳ පරීක්ෂා කර බලන බවට කියා සිටි වගත් කැටගොඩ මහතා සිහිපත් කළේය.

මේ අතර ඔහුගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සුබවාදී ලෙස ක්‍රියා කරනු ඇත්ද යන්න මාධ්‍ය වේදියෙකු විසින් විමසන ලදුව කැටගොඩ මහතාගේ ප්‍රතිචාර වූයේ ‘අනිවාර්යයෙන්ම ක්‍රියා කරනු ඇති බවයි“.

මේ අතර හයිකෝප් නඩුවට අදාළව වරෙන්තු ලබාසිටි අපරාධකරුවෙකු වන ෆොන්සේකා මහතාගේ බෑනණුවන් වන ධනුන තිලකරත්න මහතා අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ඇපමත නිදහස් කිරීමට විනිසුරුවරිය විසින් ක්‍රියා කරනු දැක ගත හැකිවිය.

මෙම සිදුවීමත්, කැටගොඩ මන්ත්‍රීවරයාගේ සාකච්ඡා හා පක්ෂ මාරුවත් අතර සම්බන්ධයක් ඇත්දැයි මාධ්‍යවේදියෙකු විසින් විමසන ලද අවස්ථාවේදී මන්ත්‍රීවරයා කියා සිටියේ ‘සමහරවිට‘ එවැනි සම්බන්ධයක් පැවතිය හැකි බවයි.

මෙවැනි සිදුවීම් තුළින් ආණ්ඩුවේ ඉහළ පෙළ උදවිය නීතිය තමන්ගේ අතට ගෙන ක්‍රියාකරන බවට තහවුරු නොවන්නේදැයි මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව කැටගොඩ මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය වූයේ ජනාධිපතිවරයාට වරදකරුවන්ට දඬුවම්දීමට බලයක් හා මුක්තියක් පවතින බවයි.

එය කිසිසේත්ම නීතිය අතට ගැනීමක් හෝ අධිකරණයට බලපෑම් කිරීමක් නොවන බවද ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා අවධාරණය කළේය.