ෆොන්සේකාගේ බෑනණුවන්ට ඇප ලැබෙයි

ෆොන්සේකාගේ බෑනණුවන්ට ඇප ලැබෙයි

December 19, 2014   12:36 pm

අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ බෑනණුවන් වන ධනුන තිලකරත්න මහතා ඇප මත නිදහස් කර තිබේ.

අද (19) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත්වීමෙන් පසු මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා විසින් ලක්ෂ 4ක මුදල් ඇප හා ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත තිලකරත්න මහතා නිදහස් කරන ලෙස නියෝග කර තිබේ.

කෙසේ වෙතත් නඩු විභාගය පැවැත්වෙන බැවින් තිලකරත්න මහතාට විදෙස් ගමන් තහනම් කර ඇති අතර ගේ විදේශ ගුවන් බලපත්‍රය අධිකරණය බාරයේ තැබීමටද නියෝග කර ඇත.

එසේම ධනුන තිලකරත්න මහතා සෑම ඉරිදා දිනෙකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු අතර අදාළ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 23 වන දිනට කල්තබා තිබේ.

සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලයේදී යුද හමුදාවට අවි ආම්පන්න ගෙන්වීමේදී අක්‍රමිකතාවක් සිදුකරන ලදැයි ෆොන්සේකා,ධනුන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

එහෙත් මෙම නඩුවේ චෝදනාවලට අදාළව සරත් ෆොන්සේකා මහතා මීට ඉහතදී නිදොස් කොට නිදහස් කරන ලදී.

Related News

 



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.