රත්නපුරේ බට්ටී උස්සන්න පොලීසියෙන් සැලසුමක්?

රත්නපුරේ බට්ටී උස්සන්න පොලීසියෙන් සැලසුමක්?

December 18, 2014   04:07 pm

රත්නපුර නගරයේදි අමානුෂික ලෙස පොලිස් නිලධාරියකුගේ පහරකෑමට ලක්වු කාන්තිලතා හෙවත් බට්ටී අතුරුදහන්ව ඇති බවට පොලිසිය විසින් ප්‍රකාශ කරන වග අද පුවත්පත්වල පළවී තිබුණු බවත්,එය මුළුමනින්ම අසත්‍ය පුවතක් බවත් ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

අද දිනයේදි ශ්‍රේෂ්ඨාධිකරණයේ SCFR 291/2014 යටතේ ඇය විසින් පවරා තිබු මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගත් බවත්, එය අද දිනයේදී විභාගයට අවසර දෙන ලද බවත්, එසේම විත්තිකරුවන්ට 2015 ජුනි 11 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් දැනුම්දුන් බවත් ප්‍රේමරත්න මහතා කියා සිටියි.

පොලිසිය විසින් අතුරුදහන්ව ඇති බවට පවසන ලද කාන්තිලතා හෙවත් බට්ටීද මේ නඩුවිභාගයට පැමිණ සිටි බව සඳහන්ය.

කෙසේවෙතත් නඩු විභාගයෙන් අනතුරුව ඇය අලූත්කඩේ බෙල්මන් වීදියේ තමාගේ කාර්යාලයට පැමිණ සිටියදි හදිසියේම කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරිණියක හා නිලධාරියෙකු පැමිණ ඇයව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව දන්වා සිටි බව උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

රත්නපුර පොලිසියට ඇයව වරෙන්තුවක් යටතේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පවසා සිටියද ඔවුන්ගෙන් වරෙන්තුව පෙන්වන ලෙස ඉල්ලා සිටි විට එවැන්නක් ඔවුන් සතුව නොතිබුණු බව හෙතෙම අවධාරණය කළේය.

මේ අනුව පොලිසීය මේ පහරදීම පිළිබඳ කිසිදු විධිමක් පරීක්‍ෂණයක් සිදුනොකර ඇය අතුරුදන් බවට ව්‍යාජ පුවත් මවා ඇයව හදිසියේ අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන බව මෙහින් පැහැදිලි වන බවත්, තමා ඇතුළු තවත් නීතිඥවරුන් නොසිටි ස්ථානයකදි පොලිසියට ඇයව හමු වුණි නම් මේවන විට ඇයව අත්අඩංගුවට ගෙන අවසාන බවත් ප්‍රේමරත්න මහතා පෙන්වාදෙයි.

එවිට අතුරුදහන්ව සිටි බට්ටී, පොලිසිය විසින් දැඩි පරිශ‍්‍රමයක් දරා අත්අඩංගුවටගත් බව මාධ්‍ය ප‍්‍රකාශක පවසනු ඇති බවද ඇයගේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.