මෛත්‍රී පාලනයේ වෛරී දේශපාලනයක් නෑ - මුල්තැන නීතියේ ආධිපත්‍යයටයි

මෛත්‍රී පාලනයේ වෛරී දේශපාලනයක් නෑ - මුල්තැන නීතියේ ආධිපත්‍යයටයි

December 18, 2014   02:10 pm

මෛත්‍රී පාලනය යටතේ කාගෙන්වත් පළිගන්න සුදානමක් නැති බවත්, මෛත්‍රී පාලනය යටතේ මුල් තැන දෙන්නේ නීතියේ ආධිපත්‍යයට පමණක් බවත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (18) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෛත්‍රී පාලනය යටතේ කිසිවෙකුගෙන්වත් පළි ගැනීමට උවමනාවක් නැති බවයි.

ආණ්ඩුව මැතිවරණයෙන් දැනටමත් පරාජයට පත්වී ඇති බව ඔවුන් කරන කතා වලින් දැනටමත් පැහැදිලි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කටුනායකින් පැනලා යන්න බැරිනම් මත්තලින් පැනලා යනවා යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා ඇති බවත්, අප කියන්නේ කොහේවත් යන්න ඕන නෑ ලංකාවේම ඉඳගෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනය කරන්න යැයි මංගල සමරවීර මහතා පැවසීය.

හොඳ දේශපාලන අනාගතයක් ගොඩ නඟා ගැනීමට අවශ්‍ය නම් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කට්ට කෑ යුතු බවද හෙතෙම පෙන්වාදුන්නේය.

එසේම බෙංගමුවේ නාලක හිමියන් මේ ජනාධිපතිවරයා පැරදුණත් ඉදිරි අවුරුදු දෙක තවදුරටත් බලයේ සිටින බව කියා ඇති බවත්, අප උන්වහන්සේට කියන්නේ ජනතාවට නොදන්නා මුසාවාද නොකියා දන්නා ධර්මය දේශනා කරන ලෙස යැදි මන්ත්‍රීවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය ජනවාරී 9 වැනිදා ප්‍රකාශයට පත් කළ පසු මෙරට ව්‍යවස්ථාව අනූව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනවාරී 10 වැනිදා නව ජනපති ලෙස දිවුරුම් දෙන බවද ඔහු කියා සිටියේය.

එසේම මහින්ද රාජපක්ෂ මහතාටත් විපක්ෂනායක හැටියට කටයුතු කළ හැකි බවද එසේ වුවද ඒ වන විට ශ්‍රීලනිපයේ බලයත් සමහර විට වෙන තැනක තියේවී යැයිද ඒ මහතා පැවසීය.

තවද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ජනාධිපති කාර්යාලයේ සේවකයින්ට සවස 4.15ට සේවා නිමවී පිටත්ව නොගොස් සවස 5 වන තුරු රැඳී තමන්ට අයත් සියලූ කාර්යයන් දෙසැම්බර් 31ට පෙර නිමා කරන ලෙසත්, කාර්යාල පරිශ්‍ර පිරිසිදුව තබාගන්නා ලෙසත් දැනුම්දී ඇතැයි මංගල සමරවීර මහතා කියා සිටියේය.

එය වූ කලී 8 වැනිදා සිදුවන මහ පරිවර්තනයට මුල පිරීමක් බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනපති කාර්යාල පරිශ්‍රය පිරිසිදුව තබා සියලු වැඩ කටයුතු අවසන් කර බාරදීමට සුදානම් වීමක් හා සමාන බවත්, ඒ මහතා පැවසීය.