මම එදා කියපුවා “ආලාපාළු” පොතේ තියෙනවා - හොර කල්ලියට රට පනින්න දෙන්නේ නෑ

මම එදා කියපුවා “ආලාපාළු” පොතේ තියෙනවා - හොර කල්ලියට රට පනින්න දෙන්නේ නෑ

December 17, 2014   03:28 pm

යාපනය දුම්රිය මාර්ගයේ කිලෝමීටරයක් හැදීමට ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 60 මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ කිලෝමීටරයකට රුපියල් මිලියන 1200ක් දක්වා පරිවර්ථනය වූයේ කෙසේදැයි චම්පික රණවකගේ “ ආලාපාළු” පොතෙන් කියන්නත් කලින් තමන් එදා කියූ බවත්, දැන් එම කතා සත්‍යය වී ඇති බවත් එජාප මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

තමන් එදා එම කරුණු කියද්දී ජනතාවට යම් සැකයක් ඇති වූයේ නම් අද එම කතාව සියලූම රට වැසියන්ට බලාගන්න අච්චු ගහලම ඇති බව මන්ත්‍රීවරයා අද (17) විපක්ෂනායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

යාපනය දුම්රිය මාර්ගයේ කිලෝ මීටරයකට රුපියල් මිලියන 60ක් ඇස්තමේන්තු ගත කර, පසුව මාතර - බෙලිඅත්ත මාර්ගය සඳහා කිලෝමීටරයකට රුපියල් මිලියන 1200ක් ඇස්තමේන්තු කර එහි ඉදිකිරීම් චීනයේ සමාගමකට පැවරීම තුළ සියයට 2000ක වංචාවක් සිදුව ඇති බව ඉන් පැහැදිලි වන්නේ යැයි ඒ මහතා පෙන්වාදුන්නේය.

මේ නිසා මේවා මේ රටේ සිදුව ඇති විශ්වාස කරන්නත් බැරි වංචා බවත්, මේ දූෂණය නැමැති පිළිකාව විජලනයකට ලක් කර දූෂිතයින්ගෙන් රට බේරාගත යුතු බවත්, හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා අද තෝරාගත් ව්‍යාපාරිකයින් පිරිසක් සමග ආසියාවේ තියෙන ලොකුම හොලෝග්‍රෑම් නැමැති සෝ එක දාන බවත්, කෝටි ප්‍රකෝටි ගණනක් මේ සඳහා වියදම් වන බව ආරංචි වී ඇති බවත් එය සිදුකරන ආයතනයද පවුලට සම්බන්ධයක් ඇති බව අප වෙත වාර්තා වී ඇතැයිද, හෙතෙම පැවසීය.

(“හොලෝග්‍රෑම්” යනු තාක්ෂණික මෙවලම් වල දායකත්වයෙන් යම් පුද්ගලයෙකු එක් තැනක සිට කරන කතාව තවත් බො‍හෝ තැන්වල සිට නැරඹීමේ හැකියාවයි.)

කෙසේ වුවද කෙතරම් සෝ දැම්මත් ජනවාරී 9 වැනිදාට යථාර්ථය දැන ගැනීමට හැකි බවත්, හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.

වත්මන් ආණ්ඩුව යටතේ විවිධ දූෂණවලට සම්බන්ධ වී නීත්‍යානූකූල නොවන ලෙස ලබාගත් වරප්‍රසාද විඳින අයෝජකයින්ට, ව්‍යාපාරිකයින්ට නීති මගින් කටයුතු කරන බවද එසේ නොවන පිරිසට ජනවාරී 9 වැනිදා බිහිවන නව රජයෙන් අසාධාරණයක් නොකරන බවද හෙතෙම කියා සිටියේය.

ආණ්ඩුවේ අති විශාල ගඳ ගහන, වංචා දූෂණ ගැන අපි කතා කරද්දී මෛත්‍රී, රාජිත, පාඨලි, වැනි ඇමතිවරු ඒවා සියයට සියයක් ඇත්තයි කියා පිළිගෙන ඇති බව ඔවුන් විපක්ෂයට පැමිණීමෙන් පැහැදිලි වන බව ඒ මහතා පෙන්වාදුන්නේය.

මේ නිසා දැන් ජනතාව පවා අප දිගින් දිගටම කිවුවේ සත්‍යය යැයි විශ්වාස කරන බවද, එසේ නමුත් විශ්වාස කිරීමට තරම් අපහසු වංචා දූෂණ සිදුව ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

පාරවල් හදද්දී කොමිස් ගහන හැටි අපි දිගින් දිගටම කියූ බවත්, සියයට 10ක් පගා ගහනවා කියා මුලදී හිතු නමුත් පාඨලිගේ “ ආලාපාළු” පොතේ එය සියයට 2000ක් කියා සඳහන් කර ඇති බවත් හර්ෂද සිල්වා මහතා පැවසුවේය.

සංවර්ධන ව්‍යාපෘති වලට මුවාවී සිදුකරන මෙම ගසා කැම්වලට සම්බන්ධ හොරුන්ට පැනලා යාමට නොදී අපි අල්ලා ගන්නා බවත්, අපි ළඟ ඒ ගැන ලියකියවිලි ඇති බවත්, හෙතෙම කියා සිටියේය.

ඇතැම් අය ශාන්ත මරීයා හා කිට්ස් වල පුරවැසි භාවය (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) අරගෙන ඇති බවත්, ඒ කලු සල්ලි සුදු කරන තැන් බවද, එසේම ඇතැමුන් හොරකම් කරපු සල්ලි ගෙනියන්නේ සීෂෙල්ස් වලට බවද, මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනූව මෙම හොර කල්ලිය අල්ලන බවත්, ඔවුන්ගේ ෆයිල් ජනතාවට පෙන්වන බවත්, ඒවා අධිකරණයටද ඉදිරිපත් කරනවා යැයි ද හර්ෂද සිල්වා මහතා කියා සිටියේය.

කුඩු මාෆියාව, කැසිනෝ මාෆියාව, කොන්ත්‍රාත් මාෆියාව, හා කොටස් වෙළඳපොළ මාෆියාව මේවන විට රට ගිලගෙන ඇති බවද, පසුගියදා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියයට 9 පොලියට අමෙරිකන් ඩොලර් මිලියන 750ක ණයක් ගෙන ඇති බවද, මන්ත්‍රීවරයා හෙළි කළේය.

ලෝකයේම දැන් අමෙරිකන් ඩොලර් පොලිය තියෙන්නේ සියයට 0.4ක් බවද එසේ තිබියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියයට 9 පොලියට ණය ගත්තේ කෙසේදැයි හෙතෙම විමසා සිටියේය.

සෙන්ට් කිට්ස්, ඩුබායි හා ලොස් ඇන්ජලිස් වලින් කෙතරම් සල්ලි ආවේදැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.

ඇතැමුන් වංචනික ලෙස හම්බකර ගත් සල්ලි පිටරටවල හොර ගිණුම්වල තැන්පත් කර ඇති බවත්, බැඳුම්කර දමා මෙලෙස යළි පොලියට ගන්නේ එම සල්ලිම බවත්, හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

හැමතැනකම දූෂණය වංචාව ඉහවහා ගොස් ඇති බවද, පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභාවක කිසිදු කාර්යයක් පගා නොදී කරගන්න බැරි තත්ත්වයකට පත්ව ඇති බවද, හෙතෙම පෙන්වාදුන්නේය.

ආශ්චර්යමත් හා යහපත් යැයි කියන සමාජය මෙයදැයි ප්‍රශ්න ක‍ළ මන්ත්‍රීවරයා දැන් මෙය ධර්මිෂ්ඨ සමාජයක් නොව “මේක ආපායක්” යැයි ද කියා සිටියේය.

මේ නිසා මෙම දූෂිත ක්‍රමයට වෙනස් කර, මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන බවද ඔහු පැවසීය.

කැසිනෝ, කුඩු, ඇතුළු ජාවාරම්කරුවන්ගෙන් රට බේරාගෙන සාමාන්‍ය මිනිසුන්ට ආර්ථික ක්‍රමය තුළ ප්‍රතිලාභ ගත හැකි රටක් ජනවාරී 9 වැනිදායින් පසු නිර්මාණය කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.