ඔස්ට්‍රේලියාව හෙල්ලු තුවක්කුකරු මරුට
සයුරෙන් එතෙර

ඔස්ට්‍රේලියාව හෙල්ලු තුවක්කුකරු මරුට

December 16, 2014   10:10 am

පැය 16ට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ආපනශාලාවක් තුළ සිරකරගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් පිරිස නිදහස් කරගෙන තිබේ.

ඊයේ උදෑසන ආපනශාලාවට කඩාවැදුණු තුවක්කුකරුවෙකු ආපනශාලාවේ සේවකයින් සහ ගනුදෙනුකරුවන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන තිබුණි.

ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට හැකිවු අතර එහිදී ඇති වු වෙඩි හුවමාරුවලින් තුවක්කුකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

තවත් සිව් දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ තුවක්කුකරු ඉරානයේ සිට සරණාගතයෙකු ලෙස 1996 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.

එම තුවක්කුකරු පළමුව සැක කෙරුණේ අයි.එස්.අයි.එස් සටන්කාමියෙකු විය හැකි බවය.

කෙසේ වුවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසන්නේ මෙය ඉතා බිහිසුණු සිද්ධියක් බවයි.

ත්‍රස්තවාදය තුරන් කිරීම සම්බන්ධයෙන් මෙමගින් පාඩමක් ඉගෙන ගත යුතු බව ටෝනි ඇබට් පෙන්වා දී තිබුණි.

අදාළ සිද්ධියට ශෝකය පළ කරමින් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස්හි ජාතික ධජය අඩකුඹුකර තැබීමට පියවර ගෙන ඇත.