ඉන්දීය ආරක්ෂක උපදේශක සහ ජනපති අතර හමුවක්

ඉන්දීය ආරක්ෂක උපදේශක සහ ජනපති අතර හමුවක්

November 29, 2014   11:47 am

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලබන සදුදා දිනයේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා දිවයිනට පැමිණීමට නියමිතය.

සමුද්‍ර ආරක්ෂාව සහ සහයෝගය පිලිබද ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වන ගාලු කථිකාවත වැඩසටහනේ ප්‍රධාන දේශනය මෙවර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා විසින් සිදුකිරීමට නියමිතව තිබේ.

මෙම සංචාරය තුළ දී අජිත් දොවාල් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා ක‍ළේය.

මෙම සාකච්ජාවේ දී ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබදව ජනාධිපතිවරයාගේ සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ වැඩි අවධානය යොමු වනු ඇති බව සඳහන්ය.

මීට අමතරව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මෙරට ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනෙකු මුණගැසීමට ද නියමිතව තිබේ.

එමෙන්ම අජිත් දොවාල් මහතා මෙවර ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස කටයුතු කරන මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මුණගැසී සාකච්ජා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සමඟ ද සාකච්ජා කිරීමට නියමිතය.