මාලකට ඇප ලැබෙයි - රාත්‍රී සමාජ ශාලා තහනම්!

මාලකට ඇප ලැබෙයි - රාත්‍රී සමාජ ශාලා තහනම්!

November 28, 2014   01:37 pm

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය යුවළකට පහරදුන් බවට චෝදනා ලැබ රිමාන්ඩ් කර සිටි ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඇප ලබාදී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ මාලකගේ ආධාරකරුවන් පිරිසක්ද ඇප මත මුදාහැර ඇත.

සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ මාලක සිල්වා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කර ඇත.

අනෙක් සැකකරුවන් පස් දෙනා අතරින් තිදෙනෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අතර සිටින ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කර තිබේ.

මීට අමතරව සිද්ධියට අදාළ නඩුව අවසන් වන තුරු සැකකාර මාලක සිල්වාට රාත්‍රී සමාජ ශාලාවලට ඇතුළු වීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා මහජනයා ගැවසෙන ස්ථානවල බියකරු ආකාරයෙන් හැසිරීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබේ.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කරන බවට ද අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර නඩුවට අදාළ හඳුනාගැනීමේ පෙරෙට්ටුව ද අද පෙරවරුවේ පවත්වා ඇති අතර ඊට බ්‍රිතාන්‍ය ජාතික යුවල සහභාගී වී තිබේ.

එහිදී පැමිණිලිකාර බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් මාලක සිල්වා හඳුනාගෙන ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ චෝදනා මත කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පසුගිය පළමු වැනිදා මාලක සිල්වා අත්අඩංගුවට ගනු ලැබීය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.