මහ වැසි වව්නියාවේ 2440ට පීඩා දෙති - ජලාශ රැසක වාන් දොරටු ඇරේ!

මහ වැසි වව්නියාවේ 2440ට පීඩා දෙති - ජලාශ රැසක වාන් දොරටු ඇරේ!

November 28, 2014   11:22 am

වව්නියාව දිස්ත්‍රික්කයට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 703කට අයත් පුද්ගලයින් 2440 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ටී. එන් සූරියරාජ් මහතා සඳහන් කළේ වව්නියාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ පමණක් පුද්ගලයින් 2258 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි.

පීඩාවට පත්වූවන් තාවකාලික කදවුරු 04 ක නතර කර ඇති බව ඔහු පැවසීය.

සමන්කුලම විද්‍යාලය, වව්නියාව හුදියවේල සින්නකුලම විද්‍යාලය, විලච්කුච්චිකුලම ග්‍රාම සංවර්ධන ගොඩනැගිල්ල හා වව්නියාව පූන්තෝට්ටම් විද්‍යාලය තුළ මෙම කඳවුරු ස්ථාපිත කර ඇති බව ටී.එන් සූරියරාජ් මහතා පැවසුවේය.

වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දැදුරුඔය, කලාවැව සහ රාජාංගනය ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බවයි.

රාජාංගණය ජලාශයේ වාන් දොරටු 12ක් සහ කලාවැවේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ලලිත් ද අල්විස් මහතා පැවසුවේය.

මේ අතර බදුල්ල මහියංගනය මාර්ගය තවදුරටත් නායයෑමේ අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.

එම මාර්ගයේ දුන්හිඳ දියඇල්ල ආසන්නයේ ස්ථාන කිහිපයක ඉරිතැලීම් මතුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ අද දිනයේ රළු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

එම ප්‍රදේශ වල පැයට කිලෝමීටර 70ක පමණ වේගයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.