ආණ්ඩුවේ අයට මාව පේන්න බැරි චරිතයක් වුණා

ආණ්ඩුවේ අයට මාව පේන්න බැරි චරිතයක් වුණා

November 27, 2014   04:29 pm

දුම්වැටි සම්බන්ධයෙන් තමන් විසින් ගෙන එන ලද ගැසට් නිවේදනයත් සමග ආණ්ඩුවේ අයට තමන්ව පෙනෙන්න බැරි චරිතයක් වූ බව පොදු අපේක්ෂක හිටපු සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එකී ගැසට් නිවේදනයට බො‍හෝ දෙනා එරෙහි වූයේ යැයි හිටපු අමාත්‍යවරයා අද (27) කියා සිටියේ කොළඹ නව නගර ශාලාවේදී සංවිධානය කර තිබූ එක්සත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රැස්වීමකට සහභාගි වෙමිනි.

තමන් විසින් ගෙන එන ලද එම යෝජනාව නිසා රටට “සුද්දෙක්වත් එන්නේ නෑ” යනුවෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් කියා සිටි බවද සිරිසේන මහතා එහිදී පැවසීය.

දුම්වැටි පැකැට්ටුවල සියයට 80 රූපමය අවවාද සියයට 60 දක්වා අඩුවුණේ එකී හේතුව නිසා බවද පැවසූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තමන් ජනපති වූ පසු දුම්වැටිවල රූපමය අවවාද සියයට 90 දක්වා ඇතුළත් කිරීමට පියවර ගන්නා බවද අවධාරණය කළේය.

තමන් මඩ වලට බිය නැති බවත්, අවුරුදු ගණනක දේශපාලන ජීවිතයේ තමාට ඒවා හුරුපුරුදු බවත්, නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ඇති කිරීම සඳහා පොදු අපේක්ෂකයා ලෙස තමන්ව ජනපති මැතිවරණයට ඉදිරිපත් කිරීම ගැන එජාපයට ස්තූතී වන බවත්, කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත්ව ඒමට සිටි අය දැන් මාධ්‍ය හමු පවත්වමින් කෑ ගසමින් සිටින බවයි.

මහින්ද රාජපක්ෂ යළි බලයට පත්වූ විට එසේ ඉවත්ව යාමට සිටි අය ඔහු ඉවත් කරනු ඇතැයිද රාජිත සේනාරත්න මහතා පැවසීය.

පොලීසිය මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් නොගලවන බවද, නොගලවන්නේ මන්දැයි ඇසූවිට ඒවා ජනපතිගේ නිසා බෑ කියන බවද, සේනාරත්න මහතා‍ පෙන්වාදුන්නේය.

මෙම රැස්වීමේදී අදහස් දැක්වූ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පොදු විපක්ෂයේ අරමුණ නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම බවයි.

නිදහස් අධ්‍යාපනයට, සෞඛ්‍යයට විශාල ගැටලු මතුව ඇති බවද, රටේ ණය බර වැඩි වී ඇති බවද පෙන්වාදුන් විපක්ෂනායකවරයා විදේශ ණය ගෙවීම, ග්‍රාමීය හා ධීවර ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීම ගැනද එහිදී අදහස් පළ කළේය.