ඉංජිනේරු සංස්ථාවේ ලොකු පුටුවකට හොරෙක් දැම්මේ ඇයි?

ඉංජිනේරු සංස්ථාවේ ලොකු පුටුවකට හොරෙක් දැම්මේ ඇයි?

November 27, 2014   12:31 pm

මහාධිකරණය මගින් වරදකරු වු අයෙකු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරක කටයුතු කිරීම සුදුසු නොවන බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නිශාන්ත ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට යොමු කළ ලිපියක මේ බව දැක්වෙයි.

එකී ලිපියේ මෙසේද සඳහන්ය.

ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මානව සම්පත් හා පාලන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහතා මුල්‍ය වංචාවකට වරදකරුවීම නිසා ඔහු වෙත මහාධිකරණය මගින් දඬුවම් ලබාදී ඇති බව අප වෙත වාර්ථා වී ඇත. මෙලෙස ඔහුට දඬුවම් නියමකර ඇත්තේ යුද හමුදා සේවයේ යෙදී සිටියදී සිදුකරන ලද රුපියල් ලක්‍ෂ 22 කට අධික මුල්‍ය වංචාවක් හේතුවෙනි. ඒ හේතුවෙන් කොළඹ මහාධිකරණය විසින් ඔහු වෙත රුපියල් 1,80,000 ක දඩ මුදලක් සහ වසර 6 ක සිර දඬුවමක් වසර 20 කට අත්හිටුවමින් ලබා දී ඇති බව ද දැනගැනීමට ඇත.

මේ සම්බන්ධයෙන් 2014.10.24 දිනැති ලිපිය මගින් අප සංගමය ඇතුළු සංස්ථාවේ ක‍්‍රියාත්මක තවත් වෘත්තීය සමිති 4 ක් විසින් ඔබතුමන් ඇතුළු බලධාරින් දැනුවත් කිරීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියෙමු. එහෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ගේ හෝ වෙනත් කිසිඳු බලධාරියකුගේ අවධානය යොමු වු බවක් දක්නට නොමැත.

සංස්ථා සේවකයින්ගේ විනය බලධාරියා වන්නේ ඉහත කී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පාලන තනතුර දරන මහතාය. අපට හැඟෙන පරිදි බරපතළ වංචාවකට අධිකරණය මගින් වරදකරු කළ පුද්ගලයකු සංස්ථා සේවකයින්ගේ විනය බලධාරියා ලෙස කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. විනය කි‍්‍රයාත්මක කරන නිලධාරියා නිර්දෝෂී පුද්ගලයකු විය යුතු අතර වරදකරුවකු වී ඇති ඉහත කී නිලධාරියා තවදුරටත් අදාළ තනතුරේ රාජකාරි කිරීම සංස්ථා සේවකයින්ගේ විනය පිරිහී යාමට ද හේතුවක් වනු නොඅනුමානය. තත්ත්වය එසේ තිබියදී චෝදනාවන්ට ලක්වු එවැනි අයෙකු වගකීම් සම්භාරයක් සහිත තනතුරක් දැරීම සහ එහි රාජකාරි ඉටුකිරීම සදහා නුසුදුස්සකු බව අපගේ හැඟීමයි.

එබැවින් මේ මොහොතේ හෝ ඉහත කී කරුණු සම්බන්ධයෙන් ඔබතුමන්ගේ අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස අප සංගමය ඉල්ලා සිටින්නෙමු.