වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 39,842 ක්

වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 39,842 ක්

November 27, 2014   08:13 am

ඉදිරි මාසය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළයාමේ අවදානමක් පවතින බව කීටවිද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් නජිත් සුමණසේන මහතා සඳහන් කළේ මෝසම් වර්ෂාවත් සමඟ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික් රැසක ඩෙංගු කීට ඝණත්වය ඉහළ ගොස් ඇති බවයි.

කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල , රත්නපුර, මහනුවර , කුරුණෑගල, යාපනය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ඩෙංගු කීට ඝණත්වය විශාල ලෙස ඉහළ ගොස් ඇත.

ඩෙංගු කීට ඝණත්වය වැඩිවීම හා දැනට පවතින පාරිසරික උෂ්ණත්වයේ බලපෑම මත දෙසැම්බර් මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම පසුගිය මාසවලට සාපේක්ෂව ඉහළ යාහැකි බව කීටවිද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙන්නේය.

මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගීන් 39,842 ක් වාර්තාවී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඒ අනූව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 12,743 ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7244 ක් වාර්තා වී ඇත.