ජනතාවට ප්‍රතිලාභ දෙන්න සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් ඔබ්බට යමු!

ජනතාවට ප්‍රතිලාභ දෙන්න සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් ඔබ්බට යමු!

November 26, 2014   04:36 pm

සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් ඔබ්බට ගොස් ජනතාවට ඍජු ප්‍රතිලාභ ලබාදෙන ක්‍රමවේදයන් කරා යොමුවීමට කාලය එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දකුණු ආසියාතික කලාපයේ රටවල අන්‍යේන්‍ය සහයෝගිතාව රඳාපවතින්නේ විවිධ සංස්කෘතීන්, බහුවාර්ගික ජන කොට්ඨාස, ආගම් සහ භාෂාවල පවතින විවිධත්වය හේතුවෙන් බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

18 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළ සියයට හතයි දශම අටක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ අතර දිළිඳු බව සියයට හයයි දශම පහකට වඩා අඩු මට්ටමක පවත්වාගෙන ගොස් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

බිලියන 1.6 කට අධික ජනගහණයක් සිටින දකුණු ආසියාතික කලාපය තුළ සියයට 24.5ක ප්‍රතිශතයක් දිළිඳු භාවයෙන් පීඩා විඳින බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් නාගරික සහ ග්‍රාමීය ජනතාව අතර පවතින විෂමතාවන් අවම කොට දිළිඳු භාවය පිටුදැකීම කෙරෙහි සාර්ක් සංවිධානයේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත.

දෙදිනක් පුරා නේපාලයේ, කත්මන්ඩු නුවර දී මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.

“ බෙදාහදාගත් සශ්‍රීකත්වය උදෙසා සබඳතාව“ යන්න මෙවර සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ තේමාවය.

සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ නේපාල තිරුබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් කත්මන්ඩු අගනුවරට ළඟා වුණි.