මේක බියකරු පෙරනිමිත්තක්

මේක බියකරු පෙරනිමිත්තක්

November 25, 2014   09:38 pm

ජනතාවට තොරතුරු දැන ගැනීමට බාධා කිරීමත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වර්ධනය වීමත් බියකරු පෙරනිමිත්තක් බව ජාතික හෙළ උරුමය පවසයි.

එහි මාධ්‍ය ලේකම්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එහි මෙසේද සඳහන්ය.

පසුගිය දා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශනය කළ දේශපාලන සංවාදාත්මක වැඩසටහන PEO TV සහ Dialog TV මගින් නැරඹීමට තිබු අවස්ථාව අවහිර කිරීම එම සේවය ලබා ගන්නා සේවාදායකයින්ට කරන ලද බලවත් අසාධාරණයකී. PEO TV අයත් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටත් Dialog ආයතනයටත් ජනතාව මුදල් ගෙවා එම සේවාවන් ලබාගත්ත ද දේශපාලන අධිකාරීන්ගේ ඕනෑ එපාකම් මත එම වැඩසටහන් වලට බාධා කිරීම සදාචාර විරෝධී, නිතී විරෝධි මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාවකි.

තමන් කැමති වැඩසටහනක් නැරඹීමට ඇති අයිති, ජනතාවට තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිය මේ ආකාරයට අයුතු ලෙසත් අත්තනෝමතික ලෙසත් බලය යොදවා බාධා කිරීම තුළින් කියාපාන්නේ වෙනස් දේශපාලන මත නොඉවසන බව පමණක් නොව ඒවා නතර කරලීමට සහ මර්දනය කිරීමට තමන්ගේ ඇති සුදානමයි. මෙම වැඩසටහනට බාධා කිරීම සම්බන්ධව මෙතෙක් ඒ ආයතන කිසිදු නිවේදනයක් නිකුත් නොකිරීම තුළින් ඔවුන්ගේ ඇති වගකීම් විරහිතභාවය ද පෙනී යයි. අදාළ ආයතන තම සේවාදායකයින්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් සමාව ගැනීමට තරම්වත් නිහතමානී නැත.

විදුලි සංදේශ නියාමන කොමිසම හා ඒ හා සම්බන්ධ නිළධාරීන් ද ගොළුවන් හා බිහිරන් සේ සිටී. ජනාධිපතිවරණයක් අභියස ආණ්ඩුවේත් රජයේ ආයතනවලත් ක‍්‍රීයා කලාපය මෙය නම් එය ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ඇති කරන්නේ බියකරු චිත‍්‍රයකි. ජනාධිපතිවරණයට අදාළ විරුද්ධ පක්‍ෂයේ රැස්වීම්, පෙළපාලි, රථ පෙරහැරවලට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ප‍්‍රතිචාර දක්වන ආකාරයෙන් පෙනී යන්නේ අතිශය බිහිසුණු ප‍්‍රචණ්ඩ මැතිවරණ ව්‍යාපාරයකට පාර කපමින් තිබෙන බවයි.

කුරුණෑගල දී විපක්‍ෂ ආධාරකරුවන්ට කළ පහරදීම් හා කළුතර මග්ගොන ප‍්‍රදේශයේ පොදු අපේක්‍ෂකයා නම් කිරිමෙන් පසු සතුට පළ කිරීම සඳහා වීදි බැස සිටි පිරිසට කළ වෙඩි ප‍්‍රහාරය තුළින් ද පෙන්නුම් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ප‍්‍රචණ්ඩත්වය කෙතරම් මුදා හැරීමට සුදානම් ද යන්නය. රට පුරා වර්ධනය වෙමින් පවතින මෙම තත්ත්වය සාධාරණ මැතිවරණයක් පිළිබඳ බලාපොරොත්තු සුන් කිරීමට හේතු වී ඇත. සාධාරණ මැතිවරණයක් අපේක්‍ෂා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන පක්‍ෂ විපක්‍ෂ සියළුදෙනා මෙයට එරෙහිව පෙළ ගැසෙමින් සියලු අපේක්‍ෂකයන්ට සමබිමක තරඟ කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කරගැනීමට කටයුතු කළ යුතු අතර ඉහත සිදුවීම් ජාතික හෙළ උරුමය පිළිකුලින් යුතුව හෙළා දකි.