වෙඩිප්‍රහාරයේ වගකීම ජනාධිපතිටයි - එජාපයත් නිහඬයි

වෙඩිප්‍රහාරයේ වගකීම ජනාධිපතිටයි - එජාපයත් නිහඬයි

November 25, 2014   05:06 pm

පොදු අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කෙරුණු බව ප්‍රකාශයට පත්කිරීමත් සමග රතිඤ්ඤා දල්වා ප්‍රීති ඝෝෂා පැවැත්වීම නිසා වෙඩි ප්‍රහාරයට ලක්වූ බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චමින්ද රණසිංහ මහතාගේ තත්ත්වය ඉතා බරපතළ බව හිටපු පළාත්සභා මන්ත්‍රී,එ.ජා.ප ජාතික පවුර සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බාරගත යුතුව ඇති බව ලක්තිලක මහතා අද(25) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා කාරණා 3ක් හේතුවෙන් මෙම වගකීම බාරගත යුතුව ඇති බවත්, රටේ නායකයා හෝ ආරක්ෂක අංශ සේනාධි නායකයා ලෙස මෙම වගකීම බාරගත යුතුවා සේම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටීම නිසා මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ බැවින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියා ලෙස ඔහු ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බව හෙතෙම සඳහන් කළේය.

එසේම මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මෙහෙයවීමට මෙතෙක් කටයුතු කර නොමැති තත්ත්වයක් තුළ එයද ජනාධිපතිවරයා මෙම සිද්ධියට වගකිව යුතු බවට සඳහන් කළ හැකි කාරණයක් බව, එය තෙවැනි කාරණය බවත් ඔහු කියා සිටියේය.

මෙම වෙඩි ප්‍රහාරය සිදුකළ ප්‍රහාරකයන් පැමිණි මෝටර් රථයේ අංකය පොලීසියට ලබාදී ඇතත්, මේවන විට අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා එවැන්නක් තමාට නොලැබුණු බව පවසන බවත් ලක්තිලක මහතා පෙන්වාදුන්නේය.

එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී කැමරාවල සටහන්ව ඇතත් ඒ පිළිබඳව හෝ කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බව ඔහු අවධාරණය කළේය.

මෙම සිදුවීම මෙවර පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල ආරම්භය බැවින් ඉදිරියේදී මැතිවරණ ව්‍යාපාරය ආණ්ඩුව විසින් දියත්කරන ස්වරූපය පිළිඹිබු කරන්නක් බවත්, එසේ තිබියදී වුවද එක්සත් ජාතික පක්ෂය ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් බවත් ශිරාල් ලක්තිලක මහතා කියා සිටියේය.

එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත්, එය එක්සත් ජාතික පක්ෂයේද වගකීමක් බවත් පෙන්වා දුන් ශිරාල් ලක්තිලක මහතා සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණය ඉටුකරවාදීමට එජාපය හෝ ක්‍රියා නොකරන්නේනම් ඊට මැදිහත්වී ජනතාව සමග පාරට බැසීමට තමන් කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.