මහින්දගේ මුහුණ ෆුල් අප්සට් - අපිත් හොඳට නාලා ඉන්නේ

මහින්දගේ මුහුණ ෆුල් අප්සට් - අපිත් හොඳට නාලා ඉන්නේ

November 25, 2014   02:21 pm

ජවිපෙ හොඳ හැටි නාලා ඉන්න නිසා කිසිදු අපේක්ෂකයෙක් ගැන මෙවර චරිත සහතික නොදෙන බව එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙන්ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා කියයි.

එසේ කිරීම නිසා තම පක්ෂය පාඩම් ඉගෙන ඇතැයි අද (25) කොළඹදී පැවැති හෝටල් සේවක මධ්‍යස්ථානයේ දෙවන නි‍‍යෝජිත සමුළුව අමතමින් හෙතෙම පැවසීය.

විධායක ජනපති ක්‍රමය ‍අහෝසි කරන්නැයි චන්ද්‍රිකාටත් මහින්දටත් කළ ඉල්ලීම්වලට ඔවුන් ඇහුම්කන් නොදුන් බව ඔහු පෙන්වාදුන්නේය.

අවසානයේ ජනතාව ඒ ගැන අහන්නේ අපෙන් යැයිද ලාල්කාන්ත මහතා කියා සිටියේය.

මේවන විට මෙරට දේශපාලන තත්ත්වය සංකීර්ණ බවත්, හිටපු ජනපති ජේ.ආර් වත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් විධායක බලය අතට ගෙන කටයුතු නොකළ බව හෙතෙම පැවසුවේය.

මහින්ද රාජපක්ෂ 17 වැනි සංශෝධනයට පයින් ගැසූ බවද, මැතිවරණ කොමසාරිස්ට ස්වාධීන බවක් නැතැයිද ඔහු පෙන්වාදුන්නේය.

අල්ලස් ‍එකේ ෆයිල් තියෙන බව කියමින් පනින්න සිටින අය බියවද්දන බවද, ජනපතිගේ මුහුණ දැන් ෆුල් අප්සට් යැයිද, එහි සංඥා බස්නාහිරින් හා දකුණින් පෙන්නුම් කළ බවද, ලාල්කාන්ත මහතා පැවසීය.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තණ්හා, රති, රගා වැනි බවද, කෙසේ වුවද සන්ධානයට වඩා පුළුල් මැතිවරණ ව්‍යාපාරයක් ජවිපෙ මෙවර ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණගේ ප්‍රකාශ දේශපාලනික බවද මාධ්‍යයටත් ස්වාධීන කටයුතු කරගෙන යාමට හැකියාවක් නොමැති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න ලේකම්ට ස්වීප් ටිකට් එකක් ඇදී බවත්, එසේ නොවන්නට කවදා මෙම තනතුරු ගන්නදැයි ප්‍රශ්නයක් බවත්, ඔහු පැවසීය.

ඉදිරි ජනාධිපති මැතිවරණයේදී ඡන්දය නොදා ඉන්න නම් එපා යැයි ද ලාල්කාන්ත මහතා සමුළුව අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.