ඇන්ටෙනෝ නඩුව විශේෂ නඩුවක් වෙයි

ඇන්ටෙනෝ නඩුව විශේෂ නඩුවක් වෙයි

November 24, 2014   02:04 pm

ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට මිසයිල ප්‍රහාර එල්ල කර එහි නියමුවා ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 32 දෙදෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා නැවත අඛණ්ඩව විභාගයට ගැනීමට තීරණය කර තිබේ.

අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් එය ලබන මස 08 වනදා සිට නැවත විභාගයට ගැනීමට නියෝග කර ඇති බව සඳහන්ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනා ද එදිනට විශේෂ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.

අදාළ නඩුව මීට පෙර අවස්ථාවකදී ද දින 04ක් අඛණ්ඩව විභාගයට ගත්තේය.

2000 වසරේ මාර්තු මස 30 වන දින හෝ ඊට ආසන්න දිනකදී පලාලී සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු එම ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කොට එහි සිටි ගුවන් නියමුවා ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 32දෙදෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවන්ට අධි චෝදනා ගොනු කර තිබේ.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.