නීති විරෝධි කටවුට් ගැන කැෆේ  මැ.කොට ලියයි

නීති විරෝධි කටවුට් ගැන කැෆේ මැ.කොට ලියයි

November 24, 2014   01:53 pm

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් සිය අභිලාෂය ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින්ගේ ප්‍රචාරක පුවරු 4000 ක් පමණ දිවයින පුරා දක්නට ඇති බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට සිය අභිලාෂය මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා තිබේ.

මෙලෙස ජනාධිපතිවරණයට තරඟ කිරීමට සිය අභිලාශය ප්‍රකාශයට පත් කොට ඇති අපේක්ෂකයින්ගේ රුව සහිතව අපේක්ෂක ප්‍රවර්ධනයන් සිදු කිරීම තුළින් මැතිවරණයට තරඟ වදින අනෙකුත් අපේක්ෂකයින්ට අවාසියක් සිදු වන බව පැහැදිලි බවත්, එය මැතිවරණයක පැවැතිය යුතු සම තරග බිමක් නිර්මාණය නොවන තත්ත්වයක් බවත්, කැෆේ සංවිධානය මැතිවරණ කොසාරිස්වරයා වෙත දන්වා යවා ඇත.

එබැවින් ජනාධිපතිවරණයට තරඟ වදින බවට සිය අභිලාෂය ප්‍රකාශ කොට ඇති සහ මේ වන විටත් ඇප මුදල් තැන්පත් කොට ඇති පුද්ගලයින්ගේ රුව සහිත පුවරු, පෝස්ටර් ඉවත් කර ගැනීම සඳහා එම අපේක්ෂකයින් දැනුවත් කරන මෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා ගෙන් ඉල්ලා සිටියි.