ඇප තැන්පත් කිරීම අද සිට - ඡන්දය දෙන්න කෝටි එකහමාරක්

ඇප තැන්පත් කිරීම අද සිට - ඡන්දය දෙන්න කෝටි එකහමාරක්

November 24, 2014   10:48 am

2015 ජනාධීපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අද (24) සිට අවස්ථාව සලසා දී තිබේ.

දෙසැම්බර් මස 05 වනදා දක්වා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන මස 05 වැනිදා දක්වා සතියේ දිනවල පෙරවරු 08.30සිට පස්වරු 04.15 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකිය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදෙනු ලබන සෑම අපේක්ෂකයෙකු විසින්ම නාම යෝජනා බාර දීමට පෙර ඇප මුදල් තැන්පත් කළ යුතුය.

පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු නම් රුපියල් 50,000ක මුදලක් ඇප වශයෙන් තැන්පත් කළ යුතු වන අතර ස්වාධීන අපේක්ෂකයෙකු නම් රුපියල් 75,000ක මුදලක් ඇප වශයෙන් තැන්පත් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් මස 08 වනදා සිදු කිරීමට නියමිතය.

එදින පෙරවරු 09 සිට පෙරවරු 11 දක්වා කාල සිමාව තුළ මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී නාම යෝජනා බාරගැනීම සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය ලබන ජනවාරි මස 08 වනදා පැවැත්වීමට නියමිත අතර ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි පනස් ලක්ෂ හතලිස් හතරදහස් හාරසීය අනූවක් 15,044, 490 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.