අයවැය  තුන්වනවර ඡන්ද විමසීම අදයි

අයවැය තුන්වනවර ඡන්ද විමසීම අදයි

November 24, 2014   09:02 am

2015 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 24 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2015 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය ඔක්තෝබර් 25 වන දින සිට 31 වන දින දක්වා සිදු කෙරුණු අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 01 වැනිදා සිදු කෙරුණි.

ඉන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 3 වන දින ආරම්භ කෙරුණු අතර එය නොවැම්බර් 21 වන දින දක්වා පැවැත්වුණි.

ඒ අනුව 2015 වර්ෂයේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරිමට නියමිතය.

කෙසේ වෙතත් පසුගිය පළමුවැනිදා පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දි ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 100කින් ජයග්‍රහණය කළේය.

අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණය.

කෙසේ වෙතත් අද දිනයේ පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා විපක්ෂයට එක්වු අතර තවත් මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂය සමග එක්වීමට සූදානමින් සිටින බවට පැතිර යන ආරංචි සමග මෙම තත්ත්වය මතුව තිබේ.

කෙසේවෙතත් පසුගියදා දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදි ජාතික හෙළ උරුමය ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර ඔවුන් අද දිනයේ ද ඡන්දය ලබාදිමෙන් වැළකී සිටින බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රි වර්ණසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය අද දිනයේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේදි අයැවයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද අයැවයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් අද දිනයේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීම සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ පැවසුවේය.

මේ අතර මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේ අයැවයට ඡන්දය ලබාදීම පිළිබඳව අද පෙරවරුවේ සලකා බලන බවයි.

එහි ජාතික සංවිධායක ශෆික් අල් රජබ්දීන් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේ තම පක්ෂය මේ වන විට අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙන බවට තීරණයකට එළඹ සිටිය ද එය පක්ෂයේ අවසන් තීරණය නොවන බවයි.

මේ අතර අද දිනයේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේ දි අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව දෙමළ ජාතික සන්ධානය පැවසුවේය.

කෙසේ වෙතත් අයවැය ඡන්ද විමසීම ජයග්‍රහණය කිරිම පිළීබඳව ආණ්ඩුවට කිසිදු ගැටළුවක් නොමැති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසිම සඳහා එක්වීමට නියමිත බව ජනාධීපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා සඳහන්කර සිටියේය.