පොදු අපේක්ෂකයා ‍කළාට ස්තූතියි - දින 100න් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා

පොදු අපේක්ෂකයා ‍කළාට ස්තූතියි - දින 100න් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා

November 21, 2014   03:34 pm

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීම පිළිබඳව තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනූව ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස තෝරාපත් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කරන බවද අමාත්‍යවරයා කියයි.

කොළඹ නව නගර ශාලාවේදී දැන් පැවැත්වෙන “ මෛත්‍රී පාලනයක් ගොඩනගමු” තේමාව යටතේ පැවැත්වෙන මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

පොදු විපක්ෂය ලෙස පවත්වන මෙම මාධ්‍ය හමුවට හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ධීවර ඇමති රාජිත සේනාරත්න, අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක, මහාචාර්ය රජිව් විජේසිංහ, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අර්ජුන රණතුංග, එක්සත් ජාතික පක්ෂයට ඊයේ එක්වූ වසන්ත සේනානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී මාධ්‍ය අමතමින් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

තමන් ජනපති ධූරයට පත්වූ පසු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කරන බවද දින 100ක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවද හෙතෙම පැවසීය.

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීම වරදක් බවත්, ඒ අනූව 17 වැනි සංශෝධනය නැවත වලංගු කරන බවත්, ඇමතිවරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද එම පක්ෂයේ ජනතාවගේ පක්ෂයක් නොව එක් පවුලක අයිතියක් බවට පත්ව ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මේවන විට රටේ නායකත්වය හා ගමන් මග සොදුරු ආඥාදායකත්වයක් කරා ගමන් කරමින් තිබෙන බවත්, ඡන්ද පවත්වමින් සහන දෙමින් සංවර්ධනය කරමින් සිනා මුසු මුහුණ පෙන්නුවද ජනතාවට අනුමත කළ නොහැකි බොහෝ අකටයුතු දේ සිදුවෙමින් පවතින බවත්, ඔහු පෙන්වාදුන්නේය.

දැනට පවතින මෙම දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කර රටක තිබිය යුතු නිදහස් සාධාරණ මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බවද ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.

රටේ ඉහවහා ගොස් ඇති දූෂණය වංචාව නැති කර සාධාරණත්වය සහ යුක්තිය ඇති කිරීමේ වැඩපිළිවෙළක් ඇති කරන බවද ඔහු සඳහන් කළේය.

සෑබැ මාධ්‍ය නිදහසක් තමන් මෙරට ඇති කරන බවද, මාධ්‍යවේදියෙකුට නිදහසේ සිය රැකියාව කරගෙන යාමට අවශ්‍ය වටපිටාව හදා දෙන බවද ඒ මහතා පැවසීය.

පොලීසියට, රාජ්‍ය සේවයේ නියුතු සියලුදෙනාට දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කරගෙනයාමට අවශ්‍ය වාතාවරණය රට තුළ සකස් කරන බවද හෙතෙම කියා සිටියේය.

මේ නිසා ඔබේ ගෞරවනීය ඡන්දය රටට බරපතළ ඛේදවාචකයක් බවට පත්ව ඇති විධායක ජනපති ධූරය අහෝසි කිරීමට භාවිතා කරන්නැයි ඉල්ලා සිටින බවද අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේය.

ඖෂධ පනතට සිදුවුයේ කුමක්ද? දුම්වැටි පැකැට්ටුවේ සියයට 80 අවවාදය සියයට 60 දක්වා අඩු ‍වුණේ කෙසේදැයි ජනතාව දන්නා බවද ඇමතිවරයා කියා සිටියේය.

එසේම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගැන තමන්ට ‍විශ්වාසයක් ඇති බවද පැවසූ මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කැපවන්නැයි ද ඉල්ලා සිටි‍න ලදී.

තවද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් තවමත් අවුරුදු 13ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා බවත්, සැබෑ නිදහස් පක්ෂය ඇත්තේ කොහේදැයි ජනතාව හොඳ හැටි දන්නා බවත්ය.

පොදු අපේක්ෂක කතිකාව යතාර්ථයක් බවට පත් කර ගැනීමට කැපවූ මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළුව මෙම කර්තව්‍ය සඳහා පෙරමුණ ගත්, අතුරලියේ රතන හිමි, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ඇතුළුව ඒ වෙනුවෙන් කැපවූ සියලුදෙනාට සිය ප්‍රණාමය පළ කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ධීවර ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ “රජගෙදර වට්ටවා” මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති පුටුවේ හිඳවීමට තමන් උපරිම ශක්තිය යොදන බවයි.

එසේම තමන් ‍මෙම තීන්දුව ගත්තේ ජීවිතය ලංසුවට තබා බවත්, මෙම සටනේ අතරමගදී මිය‍ගියහොත් තමන්ගේ මළ මිනිය කරමත තබාගෙන හෝ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දෙන්නැයි ද ඉල්ලා සිටියේය.

තමන් මෙන්ම තවත් බොහෝ පිරිසක් මෙම ගමනට ඒකරාශිවීමට සිටින බව ඔහු කියා සිටියේ , “ වන්දනාව තව එනවා” යනුවෙනි.

ඒ අනූව ඉදිරියේදී හොඳ හොඳ දේවල් මාධ්‍යවේදීන්ට බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද ඒ ගැන ලිවීමට ඉඩ තබන බවද ඔහු කියා සිටියේය.

තවද විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කරමින් කළ මෙහෙවර අගය කරන බවත් තමන්ද ඊට සිය ප්‍රණාමය පුද කරන බවත්, රාජිත සේනාරත්න මහතා පැවසුවේය.