රතනහිමිට ජීවිත හානි වුවහොත් වගකීම ආණ්ඩුව ගත යුතුයි

රතනහිමිට ජීවිත හානි වුවහොත් වගකීම ආණ්ඩුව ගත යුතුයි

November 21, 2014   11:17 am

අතුරලියේ රතනහිමිට තර්ජනයක් හෝ ජීවිත හානි සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් ගත යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

එහි මාධ්‍ය ලේකම්, බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

අතුරලියේ රතනහිමියන් ප්‍රමුඛ 25 නමක් මහා සංඝරත්නය වැඩ වාසය කරන රාජගිරිය ගෝතමී පාරේ පිහිටි සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වටලා මුදල් ගෙවා කැඳවාගත් පිරිසක් යොදවාගෙන‚ එය අල්ලා ගැනීමේ වෑයම ජාතික හෙළ උරුමය පිළිකුළෙන් හෙළා දකින්නෙමු.

ඊයේ පෙරවරුවේ ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන්ගේ අනුදැනුම ඇතුව කොට්ටේ නගරාධිපතිවරයා විසින් ඔහුගේ හෙංචයියන් යොදවාගෙන ඔබේසේකරපුර අවට සහ රාජගිරිය ප්‍රදේශයේ පැල්පත්වාසී ජනතාව උසි ගන්වමින් මෙම පහත් කටයුත්ත සිදුකිරීමේ නින්දිත උත්සාහයක නිරත වී ඇත.

පසුගිය කාලය පුරාවට අතුරලියේ රතනහිමියන් වත්මන් රජයේ ක්‍රියාකාලාපයන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ඊට එරෙහිව කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයේ ඇතැම් මැති ඇමතිවරැන් මෙන්ම රජයට හිතවත් අනුගාමී කණ්ඩායම්ද රතන හිමි විවේචනය කිරීමට මෙන්ම උන්වහන්සේට ජීවිත තර්ජන එල්ල කිරීමටද උත්සාහ දරා ඇත.

මේ පිළීබදව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී රතන හිමියන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද සිදුකළහ. එම මාධ්‍ය සාකච්ඡාවේදීම ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කර සිටියේ සඟ සතු දේපළ පෞද්ගලික අවශ්‍යතා මත පරිහරණය කිරීමට හෝ පවරා දීමට ගිහියෙකුට තියා භික්ෂුවකටද අවසර නොමැති බවයි. උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දුන්නේ රාජගිරියේ සදහම් සෙවණ අතුරලියේ රතන හිමියන්ගේ දේපළක් නොවන අතර එය සඟ සතු දේපළක් බවයි.

ජාතික හෙළ උරුමයත් අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රකාශ පිළිබඳවත් වෛරී අදහසින් ක්‍රියාකරන ඇතැම් දේශපාලඥයන්ගේ පහත් උත්සාහය වන්නේ එවන් සඟ සතු දේපළක් බලෙන් අත්පත් කර ගැනීමටයි.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති සමයේ ගැටඹේ රාජතපෝවනාරාමයේ භූමියට ඇතුළුවිය නොහැකි සේ කටුකම්බි ගසා භික්ෂූන් වහන්සේට හිරිහැර කිරීමට උත්සාහ කළා සේම අද බලය ඇත්තවුන්ද උත්සාහ දරන්නේ එවන් තත්ත්වයකට රට පත්කිරීමටයි.

බෞද්ධ රටක මෙවන් තත්ත්වයක් උදාවීම අතිශය කණගාටු දනවන කාරණයකි. සදහම් සෙවණට සිදුවන අලාභ හානිවලට මෙන්ම උද්ගත වී ඇති තත්ත්වයටත් මොනයම් හෝ අවස්ථාවක අතුරලියේ රතන හිමියන්ට තර්ජනයක් හෝ ජීවිත හානියක් සිදුවුවහොත් එහි පූර්ණ වගකීම රජය ගතයුතු බව ජාතික හෙළ උරුමයේ ස්ථාවරයයි. එවන් තත්ත්වයක් ඇති නොවන පරිදි කටයුතු කිරීම රජයේ වගකීම බවද සිහිගන්වනු කැමැත්තෙමි.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ධීවර ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ “රජගෙදර වට්ටවා” මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති පුටුවේ හිඳවීමට තමන් උපරිම ශක්තිය යොදන බවයි.

එසේම තමන් ‍මෙම තීන්දුව ගත්තේ ජීවිතය ලංසුවට තබා බවත්, මෙම සටනේ අතරමගදී මිය‍ගියහොත් තමන්ගේ මළ මිනිය කරමත තබාගෙන හෝ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දෙන්නැයි ද ඉල්ලා සිටියේය.

තමන් මෙන්ම තවත් බොහෝ පිරිසක් මෙම ගමනට ඒකරාශිවීමට සිටින බව ඔහු කියා සිටියේ , “ වන්දනාව තව එනවා” යනුවෙනි.

ඒ අනූව ඉදිරියේදී හොඳ හොඳ දේවල් මාධ්‍යවේදීන්ට බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද ඒ ගැන ලිවීමට ඉඩ තබන බවද ඔහු කියා සිටියේය.

තවද විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කරමින් කළ මෙහෙවර අගය කරන බවත් තමන්ද ඊට සිය ප්‍රණාමය පුද කරන බවත්, රාජිත සේනාරත්න මහතා පැවසුවේය.