රතනහිමිගේ ආශ්‍රමයට ගහන්න සූදානමක්

රතනහිමිගේ ආශ්‍රමයට ගහන්න සූදානමක්

November 20, 2014   12:57 pm

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතනහිමිගේ ආශ්‍රමයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බව“සඳහම් සෙවණ“-ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු සහ පර්යේෂණ ආයතනයේ “වත්තහේනේ විජිත හිමි පවසයි.

මේවන විට ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් රාජගිරිය, ඔබේසේකරපුර රැස්වී යම් යම් පිරිස් ඒකරාශි කරමින් සිටින බවට දායකයින් විසින් තමාව දැනුවත් කළ බවත්, ඒ අනුව මේ වන විට පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලා ඇති බවත් උන්වහන්සේ අද දෙරණට කියා සිටියේය.

ආශ්‍රමය තුළ මේවන විට හිමිවරුන් 10 දෙනෙකු පමණ වැඩවාසය කරන බවත්, ආරක්ෂාව පිළිබඳ ගැටළු පැනනැඟී ඇති බවත් විජිත හිමියන් අවධාරණය කළේය.

මෙම බෞද්ධ ආශ්‍රමය සහිත ඉඩම අක්කර තුන හමාරකින් යුතු බවත්, මීට ප්‍රථම කෝට්ටේ මහනගර සභාව විසින් කැලිකසළ බැහැර කිරීම සඳහා යොදාගත් ඉඩමක් බවත්, පසුව ජනාධිපතිවරයා විසින් 2011 මාර්තු මස 22 වන දින එය සඟ සතු කොට පූජා කළ බවත් උන්වහන්සේ සිහිපත් කළේය.

කෙසේ වෙතත් මේවන විට ආශ්‍රමයේ ආරක්ෂාවට ආණ්ඩු පක්ෂයේ උදවියගෙන් තර්ජන එල්ලවන බව විජිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.