ශර්මාගේ පිත්ත ක්‍රිකට් පොත අලුතින් ලියයි - ඉන්දියාව 404/5යි

ශර්මාගේ පිත්ත ක්‍රිකට් පොත අලුතින් ලියයි - ඉන්දියාව 404/5යි

November 13, 2014   05:49 pm

ශ්‍රී ලංකාවට එරෙහි සිව්වැනි එක්දින තරඟයේදී රෝහිත් ශර්මා පන්දු 16දී ලකුණු 4ක් ලබා සිට දුන් උඩපන්දුව තිස‍ර පෙරේරා අතින් ගිළිහියාමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ලකුණු 50 පන්දු 72කින්, ලකුණු 100 පන්දු 100කින්, ලකුණු 150 පන්දු 125,කින් ලකුණු 200 පන්දු 151කින් සහ ලකුණු 250 පන්දු 166කින් ලබා ගනිමින් එක්දින ක්‍රිකට් පිටියේ නව වාර්තාවක් පිහිටුවීමට අද සමත් විය.

ඒ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ සිව්වැනි තරඟයේදීය.

2011දී කොදෙව්වන්ට එරෙහිව විරේන්ද්‍ර ෂෙවාග් ලකුණු 219ක් ලබා ගනිමින් එක්දින ක්‍රිකට් පිටියේ ලබාගෙන ‍තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳ හෙළා සිය දෙවැනි ද්විත්ව ශතකය ඔහු මෙලෙස ලබාගත්තේය.

ශර්මා මීට පෙර එනම් 2013දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 209ක් ලබා පළමු එක්දින ද්විත්ව ශතකය ගෙන තිබුණි.

ඒ අනූව විරේන්ද්‍ර ෂෙවාග් ලකුණු 219ක්, රෝහිත් ශර්මා ලකුණු 209ක්, සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 200ක් වශයෙන් ලබා ගනිමින් එක්දින ද්විත්ව ශතක පොතේ තබා තිබූ වාර්තා අද ශර්මා යළිත් අලුත් කළේය.

අද තරඟයේ කාසියේ වාසිය දිනා ඉන්දියාව පළමුව පන්දුවට පහරදෙමින් ලකුණු 404ක් ලබාගත් අතර ඔවුන්ගේ බිඳ වැටුණේ කඩුලු 5ක් පමණි.

ඉන් ලකුණු 264ක්ම ශර්මාගේ පිත්තෙන් වාර්තා විය.

ඔහු එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට පන්දු 173ක් වැය කළ අතර ඊට 6 පහර 9ක් හා 4 පහර 33ක් ඇතුළත්ය.

මීට අමතරව වි‍රාට්‍ කෝලි ලකුණු 66ක් ලබා ගැනීමට සමත් විය.

ලංකාවේ හොඳම පන්දු යැවීම ඇන්ජලෝ මැතිව්ස්ගෙන් සටහන් වූ අතර ඔහු පන්දුවාර 8යි ලකුණු 44ක්දී කඩුලු 2ක් බිඳ දැමීය.

සෙසු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයට ලක්විය.

තරඟයේ නුවන් කුලසේකර යැවූ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට ශර්මා දැවීගියේය.